ශ්‍රී ලංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද දින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව හැට හත් වැනි වරටත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ සංවිධානය කර තිබූ අතර, දෙදහස් විසි පහ වසරේ ශ්‍රී ලංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට ස්වකීය විශිෂ්ට නිර්මාණ දායකත්වයෙන් කළ සේවය අගයමින් ඉසව් පනහකට අධික සංඛ්‍යාවකගෙන් ලේඛක ලේඛිකාවෝ රැසක් මෙහිදී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ. මීට අමතරව, සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාහිත්‍යකරණයෙහි නිරත වෙමින්, මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් ඉටු කළ සාහිත්‍ය නිර්මාණකරුවන් තිදෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍යරත්න ගෞරව සම්මානය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය. සිංහල මාධ්‍ය වෙනුවෙන් කිවියර පරාක්‍රම කොඩිතුවක්කු, දෙමළ මාධ්‍ය වෙනුවෙන් කිවියර සෝමසුන්දරම්පිල්ලේ පද්මනාදන් සහ ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවෙන් මහාචාර්ය ඊ.ඒ. ගාමිණී ෆොන්සේකා මෙලෙස එම සම්මානයෙන් පිදුම් ලැබූහ. දෙදහස් විසි හය වසරේදී සාහිත්‍ය සම්මානයට පාත්‍ර වූ ග්‍රන්ථ කට්ටලය, සමරු කලාපය සහ භාෂාත්‍රයෙන් ලියැවුණු සාහිත්‍ය කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
මෙහිදී අදහස් දැක්වූ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සඳහන් කළේ ශ්‍රී ලංකාව ප්‍රගතියේ ගමන් මාවතට ප්‍රවිශ්ට කරවා ගැනීමට පසුගිය දෙවසර තුළ හැකි වූ බවත්, පසුගිය දෙවසර සමාජ පරිවර්තනයේ දෙවසර බවත්ය. ශිෂ්ටාචාරමය වෙනසක් සහ ආයෝජනයක් වන එම සමාජ පරිවර්තනය වෙනුවෙන් කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රය ලබා දුන් දායකත්වය අනුපමේය බව හෙතෙම පැවසීය. දීර්ඝකාලීන අවශ්‍යතාවක්ව පැවති සමකාලීන කලාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජාතික ප්‍රතිපාදනයක් සකස් කර ගැනීම, ඈත ගම්මානවල වෙසෙන කලා ලෝලීන් වෙනුවෙන් සංස්කෘතික මධ්‍යස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීම සහ පනත් සංශෝධනය කිරීම වැනි ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයෝ, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
