2026 ගෝලීය කුසගින්න පිළිබඳ දර්ශකයට (Global Hunger Index – GHI) අනුව දකුණු ආසියානු කලාපයේ අඩුම කුසගින්න දර්ශක අගය වාර්තා කළ රට බවට ශ්රී ලංකාව පත්ව තිබේ.
රටවල් 122ක් ඇගයීමට ලක් කරමින් ප්රකාශයට පත් කළ මෙවර දර්ශකයේදී 10.2ක අගයක් වාර්තා කර ගැනීමට ශ්රී ලංකාව සමත්ව ඇති අතර, ඒ අනුව සමස්ත ලැයිස්තුවේ 53 වැනි ස්ථානය මෙරටට හිමිව ඇත.
දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් අතරින් නේපාලය 14.5ක දර්ශක අගයක් ද, බංග්ලාදේශය 19.2ක අගයක් ද, ඉන්දියාව 24.1ක අගයක් ද වාර්තා කර තිබේ. මීට අමතරව පාකිස්තානයේ දර්ශක අගය 25.5ක් ලෙස සටහන්ව ඇති අතර, ඇෆ්ගනිස්තානය වාර්තා කර ඇත්තේ 28.6ක අගයකි. ප්රමාණවත් දත්ත නොමැතිවීම හේතුවෙන් භූතානය සහ මාලදිවයින සඳහා මෙවර දර්ශක අගයන් දක්වා නොමැත.
ශ්රී ලංකාවේ ගෝලීය කුසගින්න දර්ශක අගයෙහි පවතින ප්රවණතාව සලකා බැලීමේදී, 2000 වසරේදී එය 22.1ක් ලෙස සටහන්ව තිබූ අතර 2006 වසරේදී 19.9ක් විය. පසුව 2012 වසරේදී 20.8ක් වූ එම අගය, 2018 වසර වන විට 11.4 දක්වා පහත වැටුණි. 2026 වසරේදී එය තවදුරටත් අඩු වී 10.2ක් දක්වා යහපත් මට්ටමකට පැමිණ තිබේ.
මන්දපෝෂණය, ළමා මිටිවීම, ළමා කෘෂවීම සහ වයස අවුරුදු පහට පෙර ළමා මරණ අනුපාතය යන ප්රධාන දර්ශක හතර පදනම් කරගනිමින් ගෝලීය කුසගින්න දර්ශකය මඟින් රටවල පවතින තත්ත්වය ඇගයීමට ලක් කෙරේ.