2015-2016 වර්ෂයන්හි නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීම සඳහා Liberty Commodities සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුමෙහි කොන්දේසි වෙනස් කිරීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් 1,575,630ක පමණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද (සැප්තැම්බර් 08) අනාවරණය විය.
එම ගිවිසුම ලංකා ගල්අඟුරු සමාගම වෙනුවෙන් අත්සන් කර තිබුණේ එවකට එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසිනි. අද දින කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ එවකට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ඩී. අමරතුංගය. හිටපු අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ ඩී. අමරතුංග සඳහන් කළේ, 2015-2016 කාලයේ සිදුකළ ක්ෂණික ගල්අඟුරු මිලදී ගැනීම් (Spot Procurements) සම්බන්ධයෙන් සිය කමිටුව විමර්ශනයක් කළ බවයි.
එහිදී ලක්විජය බලාගාරයට සැපයිය යුතු ගල්අඟුරුවල තාක්ෂණික තත්ත්වය සහ ඒවා නියමිත ප්‍රමිතියෙන් පහළ ගියහොත් සැපයුම්කරුගෙන් අයකළ යුතු දඩ (Price Adjustments) සම්බන්ධයෙන් ලංසු ලේඛනවල තිබූ කොන්දේසි අවසාන ගිවිසුමට ඇතුළත් කිරීමේදී බරපතළ වෙනස්කම් සිදුව ඇති බව කොමිසම හමුවේ හෙළි විය. ප්‍රමිතියට වඩා අඩු ගුණාත්මක ගල්අඟුරු ලැබුණහොත් සැපයුම්කරුට ගෙවන මිලෙන් අඩු කළ යුතු මුදල ගණනය කිරීම සඳහා ලංසු ලේඛනයේ තිබූ සූත්‍රය, සැපයුම්කරුට වාසිදායක වන පරිදි අවසන් ගිවිසුමට ඇතුළත් කර තිබේ. මෙය ප්‍රධාන වශයෙන් සල්ෆර් (Sulphur) සහ අළු (Ash) ප්‍රමාණයන් වෙනුවෙන් කළ යුතු මිල ගැලපීම්වලට අදාළ වේ.
විගණකාධිපති වාර්තාවට අනුව ලංසු කෙටුම්පතේ සල්ෆර් සඳහා මිල අඩු කිරීමේ අගය 0.1%ක් වූ අතර අවසන් ගිවිසුමේදී එය 1.0% දක්වා ද, අළු සඳහා තිබූ 1.0% අගය අවසන් ගිවිසුමේදී 10% දක්වා ද වෙනස් කර ඇත. මෙම වෙනස්කම් නිසා පළමු Spot මිලදී ගැනීමෙන් ඩොලර් 173,134ක්, දෙවන Spot මිලදී ගැනීමෙන් ඩොලර් 391,192ක් සහ සිව්වන Spot මිලදී ගැනීමෙන් ඩොලර් 1,011,304ක් වශයෙන් සමස්තයක් ලෙස Liberty Commodities සමාගම වෙත ඇමෙරිකානු ඩොලර් 1,575,630ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බව විගණකාධිපතිවරයා ගණනය කර තිබේ.
මීට අමතරව, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව රුපියල් මිලියන 500 ඉක්මවන ගිවිසුම් අමාත්‍යාංශ ලේකම්වරයා අත්සන් කළ යුතු වුවත් සියලු ගිවිසුම් අත්සන් කර ඇත්තේ ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා විසිනි. තමන්ගේ කමිටුව හමුවේ ප්‍රශ්න කිරීමේදී මෙම ගනුදෙනුවෙන් මූල්‍ය පාඩුවක් සිදු වූ බව මෛත්‍රී ගුණරත්න පිළිගත් බව ද ඩී. අමරතුංග සාක්ෂි දෙමින් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය යටතේ 2026 අප්‍රේල් 17 වනදා පත් කරන ලද මෙම විශේෂ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන අතර, අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න මෙහි අනෙක් සාමාජිකයෝ වෙති.
සටහන | LRN