ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් නිසි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කරන බවත්, ලබන වසරේ මැද පමණ වන විට අලුත් නිල ඇඳුමක් ලබා දීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. එමෙන්ම, පොලීසියේ සියලු නිලධාරීන්ට අවදානම් දීමනාවක් ලබා දීමට මෙන්ම අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ මානව සම්පත බඳවා ගැනීමටද අවශ්‍ය පියවර ගන්නා බව ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තිඹිරිගස්යාය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී අද (03) පස්වරුවේ පැවති 160 වැනි පොලිස් දින සැමරුම් උත්සවයට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්ވި ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ගෙවී ගිය වසර 160ක කාලය තුළ රටේ ඇති වූ විවිධ ගැටුම්කාරී අවස්ථා සහ වසංගත වැනි ව්‍යසනයන්හිදී පොලීසිය මහජන සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් ඉටු කළ භාරදූර කාර්යභාරය අගය කරන බවයි. වර්තමානයේ ශ්‍රී ලංකා පොලීසියට පැවරී ඇති ප්‍රමුඛතම වගකීම වන්නේ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැඳුණු අපරාධ කල්ලි මැඩපැවැත්වීම බවත්, ඒ වෙනුවෙන් වෘත්තීය වගකීමෙන් එහා ගිය සමාජ වගකීමක් ලෙස සලකා කැපවන ලෙසත් ඔහු සියලු දෙනාට ආරාධනා කළේය.

පසුගිය වසර දෙක තුළ මෙරට වැඩිම මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රමාණය සිදුකිරීම සහ විදෙස්ගතව සැඟවී සිටි සන්නද්ධ අපරාධකරුවන් 74 දෙනෙකු මෙරටට ගෙන ඒම මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ගනුදෙනු කරන හෝ බිය නිසා ගොදුරු බවට පත්ව සිටින අතළොස්සක් වන නිලධාරීන් වහාම බිය අත්හැර මිලදී ගැනීමට නොහැකි නිලධාරීන් බවට පත්වන ලෙසත්, එසේ නොමැති නම් නිල ඇඳුම අත්හරින ලෙසත් ඔහු දැඩිව අවධාරණය කළේය.

රට අපරාධ රාජ්‍යයක සිට සාමකාමී රාජ්‍යයක් දක්වා පරිවර්තනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය සහ යටිතල පහසුකම් උපරිමයෙන් සලසා දෙන බව පැවසූ ජනාධිපතිවරයා, පොලිස් නිලධාරීන් 10,000ක් අලුතින් බඳවා ගැනීමට දැනටමත් අනුමැතිය ලබා දී ඇති බවද සඳහන් කළේය.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා, 2026 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි දීර්ඝ සේවා පදනම යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරෙන් පහළ පොලිස් නිලධාරීන් 1489 දෙනෙකුට සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 153 දෙනෙකුට උසස්වීම් ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් උසස්වීම් ලිපි ප්‍රදානය ද සිදු කළේය.

එමෙන්ම, ජනතා සේවාවන් කාර්යක්ෂම කිරීම සඳහා “SRI LANKA POLICE MOBILE APP” යෙදවුම හඳුන්වා දීම, නවීකරණය කළ වෙබ් අඩවිය විවෘත කිරීම සහ 160 වන පොලිස් සැමරුම් මුද්දරය හා මුල් දින කවරය නිකුත් කිරීමද මෙහිදී සිදුවිය. මෙම අවස්ථාවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ තානාපතිවරුන් පිරිසක් එක්ව සිටියහ.