රත්නපුර සිල්වර් රේ හෝටල් පරිශ්‍රයේදී අගෝස්තු 31 සිට සැප්තැම්බර් 02 දක්වා පැවැත්වුණු ‘Gem City රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026’ සාර්ථකව අවසන් වී තිබේ.
ප්‍රදර්ශනයේ අවසන් දිනට එක්වූ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සඳහන් කළේ, පෙර වසරට සාපේක්ෂව මෙවර දැක්වූ විශාල සහභාගීත්වය ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නව පිබිදීමක් පෙන්නුම් කරන බවයි.
ශ්‍රී ලංකාව සතු මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ විභවය යථාර්ථයක් බවට පත් කරමින්, මැණික් පතල් කැනීමේ සිට අගය එකතු කිරීම, නිෂ්පාදනය සහ අපනයනය දක්වා සමස්ත වටිනාකම් දාමය ශක්තිමත් කර රත්නපුරය ජාත්‍යන්තර මැණික් කර්මාන්තයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවද ඔහු අවධාරණය කළේය.
ඒ සඳහා මැණික් කර්මාන්තයේ ගෝලීය විශ්වාසය වර්ධනය කිරීම, ආනයන හා අපනයන ක්‍රියාවලීන් සරල කිරීම, අවශ්‍ය නීති හා පහසුකම් සැපයීම සහ නව පරපුරේ කුසලතා සංවර්ධනය සඳහා රජය කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවර ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය, ඇමරිකාව, චීනය, ජපානය සහ පෝලන්තය ඇතුළු රටවල් රැසක ජාත්‍යන්තර ව්‍යවසායකයින් සහභාගී වූ අතර, දේශීය ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත රැගෙන යාමටද මෙය වැදගත් වේදිකාවක් විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ සහභාගී වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය ජනක සේනාරත්න, වසන්ත පුෂ්පකුමාර, සුනිල් රාජපක්ෂ, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.පී. චමින්ද ඇතුළු දෙස් විදෙස් ව්‍යවසායකයින් රැසක් එක්ව සිටියහ.