අස්වැසුම ප්‍රතිලාභී පවුල් සහනාධාර මත පමණක් යැපීමෙන් මුදවාගෙන, ඔවුන් ඵලදායී ආර්ථික ක්‍රියාවලියකට යොමු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ 2026 වසරේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳව ඊයේ (07) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ හඳුනාගත් පවුල් 16,000ක් සඳහා මනෝ-සමාජීය සහ ආර්ථික සහාය ලබාදීමේ වැඩසටහන් දැනටමත් ආරම්භ කර ඇති බවයි. විශේෂයෙන්ම ශ්‍රම ශක්තිය සහිත අඩු ආදායම්ලාභීන් හුදෙක් සහනාධාර මතම රඳවා නොගෙන, වැවිලි ක්ෂේත්‍රය වැනි අංශයන්හි පවතින විභවතාවන් සැලකිල්ලට ගනිමින් ඔවුන්ව අර්ධ කාලීන ශ්‍රම දායකත්වය සඳහා යොමු කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

දුගී බව තුරන් කිරීම සඳහා පවුල් ඒකක කේන්ද්‍ර කරගත් විද්‍යාත්මක හා ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා, විවිධ ආයතන මඟින් විසිරී පවතින ප්‍රතිපාදන ඒකාබද්ධ කර පවුල් සංවර්ධන සැලැස්මක් සකස් කළ යුතු බව පෙන්වා දුන්නේය. කිසිදු ශ්‍රම දායකත්වයක් ලබාදිය නොහැකි ආබාධිත, වැඩිහිටි හෝ නිදන්ගත රෝගීන් සහිත පවුල් රජය විසින් පූර්ණ ලෙස රැකබලා ගන්නා අතර, සෙසු පිරිස නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීමට රජය අපේක්ෂා කරයි.

මීට අමතරව, රැකියාවල නියුතු මව්වරුන්ගේ පහසුව සඳහා දිවයින පුරා දිවා සුරකුම් මධ්‍යස්ථාන 50ක් ඉදිකිරීමේ ඉලක්කය යටතේ මේ වසරේ මධ්‍යස්ථාන 10ක් අවසන් කිරීමට උපදෙස් දෙන ලදී. ආබාධිත පුද්ගලයන් සඳහා රෝහල් හා පොලිස් ස්ථාන වැනි පොදු ස්ථානවල ප්‍රවේශ පහසුකම් සැලසීමට රුපියල් මිලියන 283ක ව්‍යාපෘති ක්‍රියාත්මක බවත්, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ විශ්‍රාම වැටුප් ක්‍රමය නවීන තාක්ෂණය ඔස්සේ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යන බවත් මෙහිදී අනාවරණය කෙරිණි.