“පාලකයා ප්‍රතිපත්තිගරුක නම් රට සෞභාග්‍යමත් වෙනවා; දූෂිත නම් රට අරාජික වෙනවා” – ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරයේදී ජනපති පවසයි
පාලකයා ප්‍රතිපත්තිගරුක නම් රට සෞභාග්‍යමත් වන බවත්, දූෂිත නම් රට අරාජික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කැලණිය, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේදී පැවති ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council) 60 වන සංවත්සර මහෝත්සවය අමතමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැති මෙම ඓතිහාසික අවස්ථාවට ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා, අනුනායක ස්වාමීන් වහන්සේලා, ථෙරවාද, මහායාන සහ වජ්රයාන සම්ප්‍රදායන් නියෝජනය කරන දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ගිහි නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටියහ.
සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, 1966 වසරේදී ලෝක බෞද්ධ සංඝ සම්මේලනය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව ලබා දුන් සුවිශේෂී නායකත්වය පිළිබඳව සියලු ශ්‍රී ලාංකිකයන් තුළ මහත් අභිමානයක් පවතින බවයි.
දශක අටකට පෙර හිරෝෂිමා සහ නාගසාකි නගරවලට හෙළූ බෝම්බ මගින් ලොවට බිය සහ කඳුළු උරුම කළ ද, මීට වසර 2500කට පෙර බුද්ධගයාවේදී දැල්වුණු ප්රඥාලෝකය තණ්හාව, මෝහය සහ වෛරය පරදා කරුණාව සහ මෛත්‍රිය ලොවට දායාද කළ බව ඔහු පැවසීය.
කිසිදු යුද්ධයකින් හෝ බලහත්කාරයකින් තොරව ආසියාව පුරාත් ඉන් ඔබ්බට යුරෝපය ඇතුළු බටහිර රටවලටත් බුදුදහම ව්‍යාප්ත වූ අයුරු සිහිපත් කළ ජනාධිපතිවරයා, මහාචාර්ය වල්පොල රාහුල හිමියන් ඇතුළු ශ්‍රී ලාංකික හා විදේශීය යතිවරයන් වහන්සේලාගේ සේවය අගය කළේය. එමෙන්ම ශ්‍රී පාදස්ථානය සහ යාපනයේ සිට කතරගම දක්වා පැවැත්වෙන පාද යාත්‍රාව තුළින් මෙරට ජාති හා ආගම් භේදයෙන් තොර සහජීවනය පිළිබිඹු වන බව ද ඔහු සඳහන් කළේය.
චක්කවත්ති සීහනාද, කූටදන්ත සහ අග්ගඤ්ඤ වැනි සූත්‍ර ඇසුරින් කරුණු දැක්වූ ජනාධිපතිවරයා, පාලකයා යනු ජනතාව පාගාගෙන සිටින්නෙකු නොව සමාජ සම්මුතියෙන් පත් කළ නායකයෙකු බව පෙන්වා දුන්නේය. රටක අපරාධ සහ කැරලි දඬුවම් මගින් පමණක් මර්දනය කළ නොහැකි බවත්, ගොවියාට බීජ හා පහසුකම් ලබා දෙමින්, වෙළඳාමට ප්රාග්ධනය සපයමින් සහ රාජ්‍ය සේවකයාට සාධාරණ වැටුපක් ලබා දෙමින් රටේ දිළිඳුකම තුරන් කිරීම පාලකයාගේ පළමු වගකීම බවත් ඔහු අවධාරණය කළේය.
ව්යග්ඝපජ්ජ සහ සිඟාලෝවාද සූත්‍රවල දැක්වෙන ආර්ථික කළමනාකරණය මෙන්ම ‘අණන සුඛය’ හෙවත් ණය නැති බවේ සැපත ශ්‍රී ලංකාව අත්දැකීමෙන්ම දන්නා බව පැවසූ ජනාධිපතිවරයා, නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඡන්ද, දෝස, භය, මෝහ යන සතර අගතියෙන් තොරව කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය. කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය ආරම්භ කරමින් පූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමීන් වහන්සේ තබා ඇති පියවර ද ජනාධිපතිවරයාගේ විශේෂ පැසසුමට ලක් විය.
උත්සවය අතරතුරදී ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය සනිටුහන් කරමින් එම සම්මේලනයේ සභාපති අතිපූජ්‍ය ආචාර්ය චාවෝ කුන් හුයි සියුන් (Chao Kun Hui Hsiung) මහ නාහිමියන් ඇතුළු සංඝරත්නය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.
සමාරම්භක උත්සවයේ ස්තුති කතාව රත්මලාන පරමධම්මචේතිය මහා පිරිවෙන් විහාරාධිපති, ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර නායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලදී. මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දුන් ජනාධිපතිවරයාට, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකට, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිට, සංවිධායක කමිටු සභාපති පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමියන්ට, ඉන්දුනීසියානු ආගමික කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින්ට මෙන්ම සියලු දෙස් විදෙස් අනුග්‍රාහකයින්ට උන්වහන්සේ සිය කෘතඥතාව පළ කළහ.
මෙම සංවත්සර සැමරුමට සමගාමීව ඉදිරි දින කිහිපයේදී කැලණිය, අනුරාධපුරය සහ මහනුවර යන නගර කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතය.