තමන් අත්තඩංගුවට ගැනීමෙන් වළක්වා ලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමේ ව්‍යාජ කරුණු ඇතුලත් කර ඇති බව ඊයේ (06) එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ හෙළි විය.

පෙත්සමේ 17 වෙනි වගන්තියේ කිසිදු ආකාරයකින් අසාද් මවුලානා සමඟ සම්බන්ධතා නොපැවැත්වූ බව සඳහන් කර තිබුණ ද එය අසත්‍යයක් බව ඡායාරූප සාක්ෂියකින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් හෙළි කරනු ලැබීය. එමෙන් ම, නීතියේ පිළිසරණ පතන්නන් පිරිසිදු දෑතින් පැමිණිය යුතු බවට තිබෙන මූලධාර්මික කරුණ ද උල්ලංඝණය කරමින් අධිකරණය නොමඟ යැවීමට උත්සාහ කර ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශනී හේරත් පෙන්වා දී තිබේ.

පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබෙන කරුණු අනුව මූලික අයිතිවාසිකම් පිළිබඳව විග්‍රහ කරන බැවින් ඒ සම්බන්ධයෙන් විනිශ්චය කිරීමේ බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිපති දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දී තිබේ.

මේ වනවිට පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින රොමේෂ් ද සිල්වා දින තුනක් පුරා දීර්ඝ වශයෙන් නැවත නැවත ඇතැම් කරුණු දක්වා ඇති අතර, ලබන 09 වෙනි දින වගඋත්තරකරුවන් වෙනුවෙන් වැඩි දුරටත් කරුණු දැක්වීමට නියම කරනු ලැබීය.

(LankaTruth)