ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු උතුර, නැගෙනහිර සහ දකුණ යන සියලු පළාත් එක්ව ඡන්දය ප්‍රකාශ කර ඇති පසුබිමක, යළිත් රට තුළ ජාතිවාදී ගැටුම් නිර්මාණය කිරීමට ඇතැම් පාර්ශ්ව දැඩි උත්සාහයක නිරත වන බව පෙනී යයි.

ආරුගම්බේ සිද්ධිය, මහවිරු සැමරුම් සහ ‘ජූස් බාර් විහාරය’ සිද්ධිය මෙන්ම, යාපනයේ පිහිටි ‘මාතර ඇඹුල’ අවන්හලේ කොටසක් කඩා ඉවත් කිරීමේ සිද්ධිය ද ජාතිවාදී මුහුණුවරකින් සමාජගත කිරීමට උත්සාහ දරා තිබේ.

කෙසේ වෙතත් මෙම සිද්ධියේ සැබෑ තත්ත්වය සලකා බැලීමේදී පැහැදිලි වන්නේ, යාපනය මහ වීදියේ අංක 103 ස්ථානයේ දකුණෙන් ගිය සිංහල පවුලක් විසින් වසර 5ක පමණ කාලයක සිට ‘මාතර ඇඹුල’ නමින් අවන්හලක් පවත්වාගෙන ගොස් ඇති බවයි. එහි ඉදිරිපස කොටසක් මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) අයත් භූමියේ අනවසරයෙන් ඉදිකර තිබීම හේතුවෙන් මාර්ග කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ යාපනය නගර සභාව විසින් 2025 මැයි 02 වැනිදා ඉදිරිපත් කරන ලද පැමිණිලි අනුව, 2025 ජූලි 09 වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම අනවසර කොටස ඉවත් කිරීමට නියෝග කර ඇත. ඒ අනුව පසුගිය නොවැම්බර් 25 වැනිදා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නගර සභා නිලධාරීන් විසින් අදාළ අනවසර ඉදිකිරීම කඩා ඉවත් කර තිබේ.

මෙය සම්පූර්ණයෙන්ම අනවසර ඉදිකිරීමක් සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ගයක් මිස ජාතිවාදී හෝ ආගම්වාදී ගැටලුවක් නොවන බව එම අවන්හලේ හිමිකරු සහ ඔහුගේ මිතුරන් විසින්ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත. එබැවින් මෙම සිද්ධිය පදනම් කරගෙන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ වී තිබේ.