2026 ජගත් පරිසර දින ජාතික සැමරුම ‘දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

සියලු ජීවීන්ගේ පැවැත්ම සහ ස්වභාවධර්මයේ ආරක්ෂාව සහතික කෙරෙන තිරසර පාරිසරික දැක්මක් වත්මන් රජයේ ප්‍රතිපත්තිය තුළ ප්‍රමුඛස්ථානයක් ගෙන තිබේ. එහි එක් තීරණාත්මක පියවරක් ලෙස, රිටිගල, අලියාවැටුණුවැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය යන වනාන්තර පහ (05) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නව රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීම ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු විය.

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස රාමුගත සම්මුතියට (UNFCCC) අනුකූලව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ ගෝලීය ප්‍රයත්නයට ශ්‍රී ලංකාව සක්‍රීයව දායක වන බව මෙම උත්සවයේදී අවධාරණය කෙරිණි. මෙවර ජාතික උත්සවය සුවිශේෂී වූයේ එය ‘කාබන් ශුන්‍ය’ (Carbon Neutral) වැඩසටහනක් ලෙස පවත්වා තිබීමයි. ඒ පිළිබඳ නිල සහතිකය ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.

පරිසර සංරක්ෂණයේ නව මාවතක් විවර කරමින් වැඩිදියුණු කළ ‘ජාතික හරිත වාර්තාකරණ මාර්ගෝපදේශ’ හඳුන්වා දීම, මාගම වැලිකඳු වැටිය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කිරීම සහ අලිමංකඩ නිදහස් කිරීමේ ව්‍යාපෘති කිහිපයක් ද මෙම සැමරුමට සමගාමීව ප්‍රකාශයට පත් කෙරිණි. මීට අමතරව, කුඩා බුබුල දිය උල්පත හා කපුරැල්ල උණුදිය තෙත්බිම රක්ෂිත කලාප ලෙස නම් කිරීම මඟින් මෙරට ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීමට රජය දක්වන කැපවීම යළිත් තහවුරු විය.

පාරිසරික දැනුම ව්‍යාප්ත කිරීමේ අරමුණින් “සොබා”, “සොබා කෙත” සඟරා සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සම්පත් පොත මෙහිදී එළිදැක්විණි. මධ්‍යම පරිසර අධිකාරිය සහ දේශගුණික විපර්යාස අංශය විසින් සංවිධානය කරන ලද පරිසර හිතකාමී නිර්මාණ හා චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන් හට ත්‍යාග සහ සහතික පිරිනැමීමට ද ජනාධිපතිවරයා එක් විය. පාරිසරික පර්යේෂකයින් සමඟ සුහද හමුවක නිරත වෙමින් පාරිසරික තීරණ සඳහා විද්‍යාත්මක පදනමක ඇති වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.