ශ්‍රී ලංකාවේ මූලික රෝහල් පද්ධතියේ පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීම සහ සේවාවන් නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 31,000ක දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදනයක් වැය කරමින් සිව් අවුරුදු විශේෂ සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය මූලික රෝහලේ සිදු කළ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත් සහ කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමේ අරමුණින්, මධ්‍යම රජය සහ පළාත් සභා යටතේ පවතින රෝහල්වල අවශ්‍යතා හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබා දීමේ පුළුල් වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇත.
සිය නිරීක්ෂණ චාරිකාව අතරතුර අමාත්‍යවරයා රෝහලේ බාහිර රෝගී අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය, ඖෂධාගාරය, රසායනාගාරය සහ ලේ බැංකුව ඇතුළු ප්‍රධාන ඒකකයන්හි ක්‍රියාකාරීත්වය මෙන්ම දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද සොයා බැලීය. අනතුරුව රෝහල් පාලන අධිකාරිය සහ වෛද්‍ය, හෙද ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවේදී සේවය සැපයීමේදී ඔවුන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.
වැල්ලවාය මූලික රෝහල ‘B’ කාණ්ඩයේ රෝහලක් වුවද, එම කාණ්ඩයට අදාළ මූලික පහසුකම් පවා තවමත් සම්පූර්ණ වී නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙවැනි රෝහල්වල අඩුපාඩු සම්පූර්ණ කිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් බව අවධාරණය කළේය. මීට අමතරව, බෝ නොවන රෝග පාලනය සඳහා පිහිටුවා ඇති කාර්යසාධක බලකායේ කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කරමින් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට රජය අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන ඇතුළු ජනතා නියෝජිතයන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ.