ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙවන කොටසට අයත් රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ ද්විතීයික අදියරේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (29) නිල වශයෙන් ආරම්භ විය.

මෙම අදියර යටතේ කිලෝමීටර් 18.7ක දුර ප්‍රමාණයක් අතිනවීන ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර වන පොතුහැර සිට රඹුක්කන දක්වා වූ කොටසේ ඉදිකිරීම් මේ වන විටත් වේගවත්ව සිදු කෙරෙන අතර, එහි කටයුතු 2027 වසරේ මැද භාගය වන විට අවසන් කිරීමට රජය අපේක්ෂා කරයි.

මූල්‍ය පිරිවැය පිළිබඳව සලකා බැලීමේදී, ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් බිලියන 78ක මුදලක් වැය වන අතර, අද දින වැඩ ආරම්භ කරන ලද රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටස සඳහා රුපියල් බිලියන 112.4ක මුදලක් ඇස්තමේන්තු කර තිබේ.

මෙම ව්‍යාපෘතියේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ ඒ සඳහා අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන විදේශ ණය මත රඳා නොපවතිමින් දේශීය අරමුදල් මඟින්ම සපයා ගැනීමයි. එමෙන්ම, මෙහි ඉදිකිරීම් කටයුතු දේශීය කොන්ත්‍රාත් සමාගම් සතු ඉංජිනේරු දැනුම හා ශ්‍රම දායකත්වයෙන් සිදු කිරීම හරහා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය සවිබල ගැන්වීමට ද රජය පියවර ගෙන ඇත.