මත්ද්‍රව්‍ය හා බැඳුණු විනාශකාරී දොරටුව සදහටම වසා දැමීම සඳහා තරුණ පරපුර තුළ ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා අවධාරණය කළේ, මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ අපරාධකරුවන්ට තිබූ දේශපාලන රැකවරණය වත්මන් රජය විසින් මුළුමනින්ම බිඳ දමා ඇති බවයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නිකවැරටිය ගනේවැව පුරාණ විහාරස්ථානයේ පැවැති 2026 වෛශාඛ්‍ය මංගල්‍යයට අද (29) පෙරවරුවේ එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, වත්මන් තරුණ පරපුර තාක්ෂණයේ දියුණුවත් සමඟ ලෝකය තමන්ගේ ඇඟිලි තුඩට ගෙන තිබුණ ද, එම තාක්ෂණයම මත්ද්‍රව්‍ය සහ අපරාධ වැනි විනාශකාරී මාවත්වලට ඔවුන්ව යොමු කර ඇති බවයි. පසුගිය මාස 07 තුළ සිදු කළ වැටලීම්වලින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වීම තුළින් රට තුළ පවතින මෙම ව්‍යසනයේ බරපතළකම මැනවින් පැහැදිලි වන බව ඔහු සඳහන් කළේය.

“මේ විනාශකාරී දොරටුව පිටුපස පෙරදී දේශපාලන සහ රාජ්‍ය බලය තිබුණා. නමුත් අද ඒ කිසිවෙකුට දේශපාලන අනුග්‍රහය ලැබෙන්නේ නැහැ කියන සහතිකය මට දෙන්න පුළුවන්,” යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. නීතිය සහ ආයතන පද්ධතිය හරහා රජය සිය වගකීම ඉටු කරන අතරතුර, තරුණ පරපුරේ මනස වෙනස් කර ඔවුන් අධ්‍යාත්මිකව යහමඟට ගැනීම සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

තරුණ පරපුර අධ්‍යාත්මිකව අවදි කිරීම උදෙසා පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන් ඉටු කරන ශාසනික මෙහෙවර මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක් විය. උන්වහන්සේගේ ධර්ම දේශනා ඇසුරින් සම්පාදිත “දිවි මං සදහම්” කෘතිය එළිදැක්වීම සහ විහාරස්ථානයේ නව ධර්මශාලාව ඇතුළු විහාරාංග කිහිපයක් විවෘත කිරීම ද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.

සියලු සංස්කෘතීන්ට සහ අනන්‍යතාවන්ට ගරු කරන, සහකම්පනයෙන් යුතු නව වටිනාකම් පද්ධතියක් සහිත සමාජයක් ගොඩනැඟීම රජයේ අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. මෙම අවස්ථාවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය, අමාත්‍යවරුන් වන හිනිදුම සුනිල් සෙනෙවි, ආනන්ද විජේපාල, ආදිවාසී නායක වන්නිලැ ඇත්තන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.