මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින 25 හැවිරිදි හිමිනමක් වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනාව මත මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් 29 හැවිරිදි කාන්තාවක ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අතිශය සංවේදී කරුණක් වන අතර, අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම අපයෝජනයට ලක් වූ දැරියගේ පියාගේම සහෝදරයා බව තහවුරු වී තිබේ. සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන කාන්තාව බහිරවකන්ද ප්‍රදේශයේම පදිංචිකාරියකි.
සැකකාර හිමිනම සහ අදාළ කාන්තාව පසුගිය මැයි මස 20 වනදා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඊට පසු දින (21) ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර හිමිනම අද (ජූනි 01) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
අපරාධයට සහාය දුන් බව කියන කාන්තාව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය තීරණය කර තිබේ. මහනුවර පොලීසිය මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.