මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකළ ලවණ බාධකය හේතුවෙන් 2019 සිට 2022 දක්වා කාලය තුළ වගා කටයුතු කර ගැනීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (27) මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

2019 වසරේදී ඉදිකළ මෙම ලවණ බාධකය හේතුවෙන් කඹුරුපිටිය, මාලිම්බඩ, කැකණදුර ඇතුළු ප්‍රදේශ රැසක වගා බිම් නිරන්තරයෙන් ගංවතුරට ලක් වූ අතර, වසර ගණනාවක් පුරා ගොවීන් කළ ඉල්ලීම්වලට පෙර පැවැති කිසිදු රජයක් සාධාරණයක් ඉටු කළේ නැත. වත්මන් රජය 2026 අයවැය මගින් රුපියල් මිලියන 1200ක ප්‍රතිපාදන වෙන් කරමින්, අනුක්‍රමික කන්න 07ක් සඳහා අක්කර 12,800ක වගා බිම් වෙනුවෙන් මෙම වන්දි ගෙවීම ආරම්භ කර තිබේ.

මෙහිදී සංකේතාත්මකව ගොවීන් 250 දෙනෙකුට වන්දි පිරිනැමූ ජනාධිපතිවරයා අවධාරණය කළේ, රජය සතු මූල්‍ය විනය සහ ශක්තිමත් ආර්ථික කළමනාකරණය නිසා ජනතාව පීඩාවට පත් වූ අවස්ථාවක ඉතිහාසයේ වැඩිම වන්දි මුදලක් ලබා දීමට හැකි වූ බවයි. “යම් හානියක් සිදු වී කෙටි කලක් තුළ වන්දි ගෙවිය යුතුයි යන්න රජයේ ස්ථාවරයයි. ක්ෂණික සහන සලසන අතරම ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කර ඔවුන් ජාතික ආර්ථිකයට දායක කර ගැනීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කර තිබෙනවා,” යැයි ජනාධිපතිවරයා පැවසීය.

ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජනතාවට වගකියන මෙම පාලනය පෙරළා දැමීමට ජනතාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. එවැනි සිහින දකින්නේ වංචා, දූෂණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වී අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින පිරිස් පමණක් බවත්, ඔවුන් පතුරවන අසත්‍ය ප්‍රචාරවලට ජනතාව නොරැවටෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, නිල්වලා ඛේදවාචකය අවසන් කිරීමට දුන් මැතිවරණ පොරොන්දුව අද ප්‍රායෝගිකව ඉටු කළ බවයි. වගා වන්දි ලබා දීමට අමතරව, නිල්වලා ගඟේ ගැටලුවලට ස්ථිරසාර විසඳුම් සෙවීමට විශේෂඥ කමිටුවක් පත් කර ඇති බවත්, ලවණ බාධකයේ ගැටලුව විසඳීමට රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන දැනටමත් වෙන් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම පෙන්වා දුන්නේ පෙර පැවැති පාලනයන් ගොවි ජනතාව උද්ඝෝෂණ කරන විට බොරු පොරොන්දු දී ඔවුන් මුළා කළ ද, වත්මන් රජය නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය එක්ව කැපවීමෙන් මෙම වන්දි මුදල් ලබා දීම යථාර්ථයක් කළ බවයි. අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.