ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ දීර්ඝකාලීන ඉල්ලීමකට ගරු කරමින්, 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ මාතර, තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී අද (27) පස්වරුවේ ආරම්භ වූ රාජ්‍ය වෙසක් උත්සවය අමතමිනි.
මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටලු සම්බන්ධයෙන් ස්වාධීනව තීන්දු තීරණ ගැනීමේ බලය සහිත ‘ධර්මාධිකරණයක්’ නැවත පිහිටුවීම මෙම පියවරේ ප්‍රධාන අරමුණ බවයි. පවතින පනතේ 41 සහ 42 වගන්ති සංශෝධනය කිරීම හරහා සංඝ සංස්ථාවටම සිය විනය පාලන කටයුතු මෙහෙයවීමේ බලය හිමිවනු ඇත.
මෙම ක්‍රියාවලිය සඳහා මහානායක හිමිවරුන්ගේ නියෝජනය, නීතිපතිවරයා සහ රජයේ පාර්ශ්වයන් එක්ව පැවැත්වූ සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන් වී ඇති බව ද ජනාධිපතිවරයා හෙළි කළේය. “අපේ සෝභිත මාහිමිපාණන් වහන්සේ ඇතුළු ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් මගෙන් ලිඛිතව ඉල්ලා සිටියා සංඝ සංස්ථාව තුළ ඇතිවිය හැකි විනය පිරිහීම් වළක්වා ගැනීමට අවශ්‍ය නීතිමය බලය ලබා දෙන ලෙස. ඒ අනුව අදාළ සංකල්ප පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත්තා,” යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.
නව නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ මූලික නීතීන් සමඟ ගැටෙන්නේ දැයි සොයා බැලීමට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබූ අතර, එහිදී මතු වූ කරුණු පිළිබඳව අස්ගිරි, මල්වතු, අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායන්හි ලේඛකාධිකාරී හිමිවරුන් සමඟ නීතිපතිවරයා පවත්වන ලද සාකච්ඡා ඉතා සුහදව අවසන් වී ඇත. ඒ අනුව ඉතා ඉක්මනින් සංඝ සංස්ථාව විනයධරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන නෛතික රාමුව සම්පාදනය කර දීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සහතික විය.