ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා පොලිසිය වෙත පරිත්‍යාග කරන ලද කැබ් රථ (Single Cabs) 134ක් නිල වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත බාර දීම අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ඉන්දීය රජය රුපියල් මිලියන 300ක පිරිවැයක් දරමින් ලබා දුන් මෙම වාහන තොගය උතුරු පළාතේ පිහිටි පොලිස් ස්ථානවල ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා යොදවීමට නියමිතය. මෙම පියවර මඟින් උතුරු පළාතේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට එක් වූ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ප්‍රකාශ කළේ, දෙරට අතර පවතින දීර්ඝකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මෙවැනි සහයෝගීතා ව්‍යාපෘති ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි. ඉන්දීය රජයේ මෙම පරිත්‍යාගය අගයමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් මහකොමසාරිස්වරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිරිනමන ලදී.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, ඩිමෝ ආයතනයේ සාමාන්‍යාධිකාරී රජිව් පණ්ඩිතගේ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.