අනුරාධපුර ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක්වීමේ සිද්ධියට අදාළව දැනට ක්‍රියාත්මක නීතිමය ක්‍රියාමාර්ග සහ වින්දිත දැරියගේ ආරක්ෂාව පිළිබඳව සෘජුව මැදිහත් වී සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර තිබේ.
මෙම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනී අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (25) රැස්වූ අවස්ථාවේදීය. ඒ අනුව, මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මෙන්ම පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන සමඟ එළඹෙන ජුනි මස 05 වැනිදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
සමාජය තුළ දැඩි කතාබහට ලක්ව ඇති මෙම පුවතට අමතරව, සමස්තයක් ලෙස කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදුවන සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා පවතින නීතිමය රාමුව ශක්තිමත් කිරීම සහ අදාළ ආයතන බලගැන්වීම පිළිබඳව ද මෙහිදී පුළුල් අවධානයක් යොමු කිරීමට නියමිතය.
අනුරාධපුර දැරියට අදාළ නීතිමය ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම සහ රට තුළ සිදු කළ යුතු ආයතනික හා නීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීම සඳහා මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ විශේෂ අනුකමිටුවක් ද පත් කෙරිණි. සංසදයේ සම උප සභාපතිවරියන් වන පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලි ගුණසිංහ සහ නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ලගේ මූලිකත්වයෙන් යුත් මෙම කමිටුවට හේමාලි වීරසේකර, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, නීතිඥ හසාරා ලියනගේ, නීතිඥ හිරුනි විජේසිංහ සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මන්ත්‍රීවරියන් ඇතුළත් වේ.