මෙරට මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ නවීකරණයක් සිදු කරමින්, ලබන මැයි මස පළමුවැනිදා සිට සාම්ප්‍රදායික ප්ලාස්ටික් රක්ෂණ කාඩ්පත් වෙනුවට ඩිජිටල් රක්ෂණ කාඩ්පත් (Digital Insurance Card) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.

මෙරට ක්‍රියාත්මක සියලුම රක්ෂණ ආයතන ඒකාබද්ධව ක්‍රියාවට නංවන මෙම වැඩපිළිවෙළ යටතේ, රක්ෂණ සහතිකයේ වලංගුභාවය ක්ෂණිකව තහවුරු කරගැනීම සඳහා ‘ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතිය’ ද හඳුන්වා දී ඇත. ඒ අනුව, ඕනෑම ජංගම දුරකථන ජාලයකින් *1338# අංකය ඇමතීමෙන් හෝ වාහන අංකය/රක්ෂණ සහතික අංකය ඇතුළත් කිරීමෙන් සිය රක්ෂණ ඔප්පුවේ වත්මන් තත්ත්වය පිළිබඳ තොරතුරු ලබාගත හැකිය. මීට අමතරව, වාහන අංකය හෝ රක්ෂණ පත්‍ර අංකය කෙටි පණිවිඩයක් (SMS) ලෙස 1338 අංකයට යොමු කිරීමෙන් ද එම තොරතුරු ලබාගත හැකි බව ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් පෙන්වා දුන්නේය.

මෙම නව ක්‍රමවේදය යටතේ මින් ඉදිරියට ප්ලාස්ටික් රක්ෂණ කාඩ්පත් නිකුත් නොකරන අතර, රක්ෂණ සහතිකය පාරිභෝගිකයා වෙත ලැබෙන්නේ QR කේතයක් (QR Code) හෝ වෙබ් සබැඳියක් (Link) ලෙසය. අවශ්‍ය අයෙකුට මෙම ඩිජිටල් කාඩ්පත මුද්‍රණය කර ළඟ තබා ගැනීමට ද හැකියාව පවතී. මාර්ගයේදී පොලිස් නිලධාරීන් විසින් රක්ෂණ සහතික පරීක්ෂා කරන අවස්ථාවකදී, ජංගම දුරකථනය හරහා හෝ මුද්‍රිත පිටපතක් ලෙස එය ඉදිරිපත් කළ හැකි බවත්, එහි වලංගුතාව පද්ධතිය හරහා පොලීසියට ද තහවුරු කරගත හැකි බවත් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.