නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

නැගෙනහිර වෙරළ තීරය ඛාදනය වීමෙන් ආරක්ෂා කර ගනිමින්, එම කලාපය සංචාරක කර්මාන්තය සඳහා වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීමට අවශ්‍ය විධිමත් සැලසුමක් සකස් කරන ලෙස ඔහු මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 2026 අයවැය මගින් අම්පාර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 22,000ක සුවිශාල මුදලක් වෙන් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

අදාළ ප්‍රතිපාදන මෙම වර්ෂය තුළදීම නිසි ලෙස කළමනාකරණය කරමින් ජනතාව වෙත එහි ප්‍රතිලාභ කඩිනමින් ලබාදීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බව ඔහු අවධාරණය කළේය. එමෙන්ම රටේ පවතින පරිපාලන ව්‍යුහයන් ජාතීන් අනුව බෙදා වෙන් කිරීම වෙනුවට, භූමියේ විශාලත්වය සහ ජනගහනය වැනි පොදු නිර්ණායක මත පදනම්ව සකස් වීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස ඇතුළු දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.