ශ්‍රී ලංකාවේ කතෝලික සභාව සහ රජය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සම-සභාපතිත්වයෙන් මෙම හමුව මෙහෙයවනු ලැබීය.
මෙහිදී අදහස් දැක්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කළේ, කිසිදු භේදයකින් තොරව සෑම සිසුවෙකුටම තමා අදහන ආගම ඉගෙනීමට ඇති අවස්ථාව සහ අයිතිය රජය විසින් තහවුරු කළ යුතු බවයි. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මේ වන විට මතුව ඇති ආගමික ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාව උන්වහන්සේ පෙන්වා දුන්හ.
විශේෂයෙන්ම රජයට පවරා ගනු ලැබූ කතෝලික පාසල්වල පවතින පරිපාලනමය ගැටලු, කතෝලික ධර්මය ඉගැන්වීම සඳහා විධිමත් ගුරු කාර්ය මණ්ඩල ක්‍රමවේදයක් සකස් කිරීම සහ ගුරු වෘත්තිය සඳහා සුදුසුකම්ලත් කතෝලික පූජකවරුන් හා පැවිදි සොහොයුරියන් බඳවා ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය. රජයට පවරා ගත් පාසල්වල කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය වඩාත් විධිමත්ව ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ද මෙහිදී අවධානය යොමු විය.
මෙම සම්බන්ධීකරණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය සහ කතෝලික සභාව අතර සාකච්ඡා වසරකට තෙවරක් පැවැත්වීමට මෙහිදී තීරණය කෙරිණි. එම ක්‍රියාවලියේ ලේකම්වරයා ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ කටයුතු කරනු ඇත.
මෙම අවස්ථාවට අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරු හිමි, අතිඋතුම් ක්‍රිස්ටි නොයෙල් එම්මානුවෙල් රදගුරු හිමි, අතිඋතුම් ඇන්ටන් රංජිත් රදගුරු හිමි සහ අතිඋතුම් විමල් සිරි ජයසූරිය රදගුරු හිමි ඇතුළු කතෝලික සභාවේ නියෝජිත පියතුමන්ලා පිරිසක් ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී වූහ.