ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා – කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නියෝජිතයන් සහ කියුබානු තානාපතිනිය අතර පසුගියදා (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය මෙන්ම එම සංගමයේ සභාපති සුනිල් කුමාර ගමගේ සහ කියුබානු ජනරජයේ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා අතර පැවැති මෙම හමුවේදී, දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික භාවය ඔස්සේ දෙරටටම පොදු වූ අභියෝග ජය ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අමාත්‍ය සුනිල් කුමාර ගමගේ කරුණු පැහැදිලි කළේය.

සෞඛ්‍ය සේවා, ක්‍රීඩා, කෘෂිකර්මාන්තය සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම වැනි ප්‍රමුඛ ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමට තමන් කැපවන බව තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා ගුවේරා මෙහිදී ප්‍රකාශ කළාය. එම සබඳතා තවදුරටත් සමීප කරවනු වස්, දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම්වල සාමාජිකයන් අතර මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ සාකච්ඡා වටයක් සංවිධානය කිරීමට ද ඇය යෝජනා කළාය.

විශේෂිත අවස්ථාවක් ලෙස, කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම දින ශතසංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන අනුස්මරණ උත්සව සඳහා සහභාගී වන ලෙස ද තානාපතිවරිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇරයුම් කළාය. කියුබාව මේ වන විට මුහුණ දෙන වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර අභියෝග පිළිබඳව ද මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කෙරුණු අතර, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වේදිකාවේදී කියුබාව වෙනුවෙන් සහාය දිය හැකි අවස්ථා පිළිබඳව ද සාකච්ඡා බඳුන් විය.