මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් මෙතෙක් කලක් භුක්ති විඳි දේශපාලන රැකවරණය වත්මන් රජය යටතේ මුළුමනින්ම අවසන් කර ඇති බවත්, එම උවදුර මැඬලීමේදී විමර්ශන නිලධාරීන්ට කිසිදු පාර්ශ්වයකින් බලපෑම් එල්ල වීමට ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (20) පස්වරුවේ මඩකළපුව වෙබර් ක්‍රීඩාංගණයේ පැවති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන “රටම එකට” දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි.

නීතියේ ආධිපත්‍යය සහ විමර්ශන
පසුගිය මාස 06 තුළ මත්ද්‍රව්‍ය වැටලීම්වල සුවිශේෂී ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නැගෙනහිර පළාතේ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) ඇතුළු ආරක්ෂක අංශවල දායකත්වය අගය කළේය. “සමහරුන්ට නීතියට ගරු කරන රටවල් දරාගන්න බෑ. තමන් නීතියට උඩින් ඉන්නවා කියලා හිතපු යුගය දැන් ඉවරයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතන ළඟට බස් දාලා සෙනඟ ගෙනාවට හෝ කෑගැසුවාට නීතිය නැමෙන්නේ නැහැ,” යනුවෙන් ඔහු දැඩිව ප්‍රකාශ කළේය. පවතින නීති රාමුව මත්ද්‍රව්‍ය මර්දනයට ප්‍රමාණවත් නොවන්නේ නම්, සන්නද්ධ අපරාධ කල්ලි මැඬලීම සඳහා විශේෂ නීති සංග්‍රහයක් පාර්ලිමේන්තුවේ සම්මත කරන බව ද ඔහු සහතික විය.

ආර්ථික කළමනාකරණය සහ සහන
රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ද කරුණු දැක්වූ ජනාධිපතිවරයා, භාණ්ඩාගාරය සතුව රුපියල් අතිරික්තයක් පවතින බැවින් දිට්වා ආපදා සහන මෙන්ම ඉන්ධන සහ විදුලි සහන ලබාදීමට රජයට හැකි වී ඇති බව පෙන්වා දුන්නේය. ඩීසල් ලීටරයක සැබෑ පිරිවැය රුපියල් 720ක් වුවද, රජය රුපියල් 100ක සහනාධාරයක් දරමින් එය රුපියල් 392කට ලබාදෙන බව ඔහු අනාවරණය කළේය. එසේම විදුලි පාරිභෝගිකයන්ගෙන් 95%කට ගාස්තු වැඩිවීම බලනොපාන අයුරින් රුපියල් කෝටි 1,500ක සහනාධාරයක් සැප්තැම්බර් දක්වා ලබාදෙන බව ද ඔහු සඳහන් කළේය.

ඩොලර් අර්බුදය සහ පුරවැසි වගකීම
කෙසේ වෙතත්, ඩොලරයේ අගය ශක්තිමත් වීම හමුවේ මෙරට රුපියල මත යම් තෙරපුමක් ඇති වී තිබෙන බව ජනාධිපතිවරයා පිළිගත්තේය. විශේෂයෙන් ඉන්ධන ආනයන පිරිවැය පෙබරවාරි මාසයේ පැවති ඩොලර් මිලියන 98 සිට මැයි මාසය වන විට ඩොලර් මිලියන 522 දක්වා හය ගුණයකින් ඉහළ ගොස් ඇත. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්ධන සහ ආනයනික භාණ්ඩ භාවිතය සීමා කර, රටින් බැහැරට ගලායන ඩොලර් ප්‍රමාණය අවම කර ගැනීමට තනි තනිව මැදිහත් වන ලෙස ඔහු සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

රාජ්‍ය සේවය සහ සමාජීය අභියෝග
ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවත්, පුරප්පාඩු පිරවීම සඳහා විධිමත් බඳවා ගැනීම් සිදු කරන බවත් මෙහිදී ප්‍රකාශ විය. මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් තරුණ පරපුර මුදා ගැනීම සඳහා ආගමික නායකයන් සහ පොදු මහජනතාව ඒකාබද්ධ වූ පුළුල් වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ආනන්ද විජේපාල, සුනිල් හඳුන්නෙත්ති, ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.