එළඹෙන ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේදී අද (20) පැවැති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමේ “රටම එකට” දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි.

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය අදියර තුනකින් සිදු කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉන් යම් ප්‍රමාණයක් මේ වන විටත් ඉටු කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවය තුළ තවමත් විසඳිය යුතු බරපතළ ගැටලු රැසක් පවතින බව පිළිගත් ඔහු, ඒ සියල්ල ක්‍රමානුකූලව විසඳීමට රජය කැපවී සිටින බව අවධාරණය කළේය.

“අපට අවශ්‍ය වන්නේ රටේ ඉදිරි ගමනට සෘජුව දායක විය හැකි ශක්තිමත් රාජ්‍ය සේවයක්. පොලීසිය, ත්‍රිවිධ හමුදාව මෙන්ම දිසාපතිවරයාගේ සිට ග්‍රාමීය මට්ටම දක්වා පවතින පරිපාලන ව්‍යුහය වඩාත් කාර්යක්ෂම කළ යුතුයි. ඒ වෙනුවෙන් අවශ්‍ය පසුබිම රජය සකස් කරමින් සිටිනවා,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු හේතුවෙන් මහජන සේවාවන් අඩාල වීමට ඉඩ නොතබන බවත්, ඒ සඳහා විනිවිදභාවයකින් යුතු බඳවා ගැනීම් කඩිනමින් සිදු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.