එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (19) ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ඇන්තනි විද්‍යාලයේදී පැවැති “2026 OSGA වාර්ෂික දේශනය” (2026 OSGA Annual Lecture) සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූවාය. එහිදී ඇය “සංවර්ධනයේ දේශපාලනය: ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට” (The Politics of Development: Sri Lanka and Beyond) යන තේමාව යටතේ සුවිශේෂී විද්වත් දේශනයක් සිදු කළාය.

ප්‍රමුඛ පෙළේ විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ පර්යේෂකයන්ගෙන් සමන්විත සභාව අමතමින් හරිනි අමරසූරිය පෙන්වා දුන්නේ, සංවර්ධනය යනු හුදෙක් ආර්ථික මාදිලි හෝ සංඛ්‍යාලේඛන මත පමණක් තීරණය වන්නක් නොවන බවයි. එය මිනිසුන්ගේ එදිනෙදා ජීවන අත්දැකීම් හරහා වටහා ගත යුතු ක්‍රියාවලියක් බවත්, ආර්ථික අර්බුදවලින් පීඩාවට පත් රටවල් යළි ගොඩනැඟීමේදී පරමාදර්ශී ඉලක්ක සහ ප්‍රායෝගික යථාර්ථය අතර නිසි සමතුලිතතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත් ඇය අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලන නියෝජනය සහ ඔවුන්ගේ දායකත්වය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළාය. විශේෂයෙන්ම පවුල, ප්‍රජාව සහ ආර්ථිකය උදෙසා කාන්තාවන් සිදු කරන ‘නොගෙවන සාත්තු සේවාවන්’ (Unpaid Care Work) සාම්ප්‍රදායික ආර්ථික පද්ධතීන් තුළ හඳුනා නොගැනීම බරපතළ අඩුපාඩුවක් බව ඇය පෙන්වා දුන්නාය. තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී මානව ගරුත්වය, සාධාරණත්වය සහ සමාජ සුභසාධනය ආරක්ෂා කිරීම රජයක ප්‍රමුඛ වගකීමක් විය යුතු බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

සමාජ මානව විද්‍යාඥවරියක සහ ක්‍රියාකාරිනියක ලෙස සිය අත්දැකීම් ඇසුරින් ඇය සඳහන් කළේ, අර්ථවත් ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සඳහා අඛණ්ඩ මහජන මැදිහත්වීම සහ ඉවසීම අවශ්‍ය වන බවයි. දේශීය යථාර්ථයන් මත පදනම් වූ සංවර්ධන ප්‍රමුඛතාවන් සහ පාලන තන්ත්‍රයේ වගවීම ජනතාව කෙරෙහි බැඳී පැවතිය යුතු බව ද ඇය සඳහන් කළාය.

දේශනයෙන් අනතුරුව පැවැති ප්‍රශ්නෝත්තර සැසියේදී පාලනය, ආයතනික ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී වගවීම පිළිබඳව ඔක්ස්ෆර්ඩ් විද්වතුන් නැගූ ප්‍රශ්නවලට ඇය පිළිතුරු ලබා දුන්නාය. අග්‍රාමාත්‍යවරියගේ මෙම දේශනය ඇගයීමට ලක් කළ ඔක්ස්ෆර්ඩ් ගෝලීය සහ කලාපීය අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ඩියෙගෝ සැන්චෙස්-අන්කෝචියා, මෙය ශාස්ත්‍රීය දැනුම සහ ප්‍රායෝගික දේශපාලන අත්දැකීම් මනාව මුසු වූ කාලෝචිත විග්‍රහයක් බව ප්‍රකාශ කළේය.