රටක ආර්ථික ප්‍රගතිය යනු හුදෙක් එක් දර්ශකයක් මත පමණක් තීරණය වන්නක් නොවන බවත්, රුපියල යම් මට්ටමකින් උච්චාවචනය වීම ආර්ථික බිඳවැටීමක් ලෙස අර්ථ දැක්විය නොහැකි බවත් අනිල් ජයන්ත පවසයි. සමස්ත ආර්ථික දර්ශකයන් දෙස බැලීමේදී රට මේ වන විට නිවැරදි දිශානතියකට ගමන් කරමින් පවතින බව ඔහු අවධාරණය කරයි.
පසුගිය පාලන සමයන්හිදී විදේශ සංචිත ගොඩනැඟූ ආකාරය පිළිබඳව සිය විවේචනය ඉදිරිපත් කළ අනිල් ජයන්ත, එකල සංචිත ප්‍රමාණය ඉහළ අගයක පෙන්වනු ලැබුවේ වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීම සහ විදේශ ණය වාරික ගෙවීම පැහැර හැරීම වැනි කෘතිම උපක්‍රම හරහා බව පෙන්වා දුන්නේය. එය සැබෑ ආර්ථික වර්ධනයක් නොව, ජනතාව මුළා කළ ක්‍රියාවලියක් බව ඔහුගේ අදහසයි.
කෙසේ වෙතත්, 2025 වසර වන විට වත්මන් රජය අතිශය ප්‍රශස්ත මට්ටමේ ආර්ථික කළමනාකරණයක් සිදුකර ඇති බව ඔහු සඳහන් කරයි. එහිදී අනිල් ජයන්ත විශේෂයෙන් හෙළිදරව් කළේ 2025 වසර තුළ පමණක් රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 5,149ක ණය සහ පොලී වාරික ගෙවා අවසන් කර ඇති බවයි. ණය ගෙවීමට අමතරව, මෙතෙක් පැනවා තිබූ දැඩි ආනයන සීමා ලිහිල් කරමින් ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය පියවර ගෙන තිබේ. විශේෂයෙන්ම වාහන ආනයනයට අවසර ලබා දීම සහ ඉන්ධන ආනයනය වෙනුවෙන් ඩොලර් බිලියන 4කට අධික මුදලක් වැය කරමින් ආර්ථික ක්‍රියාවලිය සක්‍රීයව පවත්වාගෙන යාමට රජය සමත් වී ඇත.
වත්මන් ගෝලීය යුදමය වාතාවරණය හමුවේ වුවද, රුපියලේ අගය අවප්‍රමාණය වී ඇත්තේ 5%ක වැනි ඉතා සුළු මට්ටමක බවත්, එය පාලනය කරගැනීම සඳහා මහ බැංකුව නිරන්තරයෙන් මැදිහත් වන බවත් ඔහු පැවසීය. 2025 වසරේදී ලබාගත් මෙම ස්ථාවරත්වය 2026 වසරේදී තවදුරටත් ශක්තිමත් වන අතර, එහි සැබෑ ප්‍රතිලාභ ඉදිරියේදී මහජනතාවට හිමිවනු ඇති බව ද අනිල් ජයන්ත වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.