මඩකළපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීම සඳහා ඉදිරි අයවැය මගින් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද දින මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

දිස්ත්‍රික්කයේ පානීය ජල අවශ්‍යතාව, වාරිමාර්ග සහ කර්මාන්ත සඳහා අවශ්‍ය ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳව මහජන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් එක්ව සාකච්ඡා කර විධිමත් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. එම වාර්තාව පදනම් කරගනිමින් වැඩිදුර සාකච්ඡා පැවැත්වීම සඳහා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් කණ්ඩායමක් කඩිනමින් ප්‍රදේශයට එවීමට ද ඔහු පියවර ගත්තේය.

ප්‍රධාන ව්‍යාපෘති නිමවන තෙක් ජනතාව මුහුණ දෙන පානීය ජල හිඟයට තාවකාලික විසඳුම් කඩිනමින් ලබාදෙන ලෙස නිලධාරීන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා, ජල සම්පාදන මණ්ඩලය මගින් දැනට සැලසුම් කර ඇති සියලුම ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට රජය සූදානම් බව ද සහතික විය.

දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් පිළිබඳ අවධානය යොමු කරමින්, සැලසුම් කර ඇති සියලුම මාර්ග සහ පාලම්වල ඉදිකිරීම් කටයුතු මෙම වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කළේය. මීට අමතරව, වනජීවී කලාපවලට අයත් වගා බිම් සම්බන්ධයෙන් පවතින ගැටලු සහ මයිලත්තමඩු – මාදවනෙයි තෘණ භූමිය ආශ්‍රිතව කිරි ගොවීන් මුහුණ දෙන දීර්ඝකාලීන ගැටලු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එම ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුම් ලබාදීමට රජය කැපවී සිටින බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියේය.