පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන තිදෙනා මඩකලපුව බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමු වී ඇති බව අද (20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම තීරණාත්මක තොරතුරු අනාවරණය කළේය.
විමර්ශන නිලධාරීන් විසින් ප්‍රංශයේ වෙසෙන පිල්ලෙයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම් අසාද් මවුලානාගෙන් ප්‍රංශයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ලබාගත් විශේෂ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම කරුණු හෙළි කර තිබේ. එම ප්‍රකාශයට අනුව, අදාළ බන්ධනාගාර හමුවේදී රාජපක්ෂවරුන් විසින් පිල්ලෙයාන් වෙත විශේෂ දේශපාලන සහතිකයක් ලබා දී ඇත.
එහිදී ඔවුන් පවසා ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වී සතියක කාලයක් ඇතුළත පිල්ලෙයාන්ට ඇප ලබාගෙන ඔහුව නිදහස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන බවයි. පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරට දේශපාලන බලය අත්පත් කර ගැනීමේ උපායමාර්ගික සැලසුමක කොටසක් ලෙස මෙම හමුවීම සිදු වී ඇති බවට සැක කෙරේ. අසාද් මවුලානා ලබා දුන් මෙම සාක්ෂිය හරහා රාජපක්ෂවරුන් සහ පිල්ලෙයාන් අතර පැවති රහසිගත සම්බන්ධතාවය සහ එකඟතාවන් පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු මේ වන විට අධිකරණය සතු වී තිබේ.