ධනය, බලය හෝ දේශපාලන සබඳතා මත නීතිය ක්‍රියාත්මක නොවූ අතීත සංස්කෘතිය මුළුමනින්ම වෙනස් කර, සියලු දෙනා නීතියට යටත් වන නව ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකිරීමට රජය පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (12) පෙරවරුවේ මාතලේ වීර කැප්පෙටිපොළ ශාලාවේ පැවති මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වීම ‘මහා ව්‍යසනයක්’ ලෙස පෙන්වීමට ඇතැම් පිරිස් උත්සාහ කළ ද, රටක් දියුණු වීමට නම් නීතියේ ආධිපත්‍යය අනිවාර්ය බවයි. පවතින නීති රාමුව රාජ්‍ය නිලධාරීන්ට සිය රාජකාරි ඉටු කිරීමට බාධාවක් නොවන බවත්, අවශ්‍ය නම් ජනතාව වෙනුවෙන් නීති සංශෝධනය කිරීමට පවා රජය සූදානම් බවත් ඔහු මෙහිදී සහතික විය.
දිට්වා සහන වෙනුවෙන් බිලියන 500ක්
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය රුපියල් බිලියන 500ක දැවැන්ත ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා අනාවරණය කළේය. මෙම මුදල් ඉතා සැලසුම් සහගතව සහ ඵලදායීව යෙදවීම දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ ද වගකීමක් බව පෙන්වා දුන් ඔහු, මෙම වසර අවසන් වීමට පෙර සියලු ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති අවසන් කළ යුතු බවට දැඩි නියෝගයක් නිකුත් කළේය.
මාතලේ දිස්ත්‍රික්කයේ වන්දි හා සංවර්ධන ප්‍රගතිය
ආපදා තත්ත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 254කට පූර්ණ හානි සහ නිවාස 3,829කට අර්ධ හානි සිදුව ඇති අතර, තක්සේරුවකින් තොරව වන්දි ලබාදිය හැකි සියලු නිවාස වෙනුවෙන් මේ වන විට ගෙවීම් අවසන් කර ඇත. එමෙන්ම පවුල් සඳහා ලබාදුන් රුපියල් 25,000 සහ 50,000 දීමනා ද, සිසුන් වෙනුවෙන් වෙන් කළ විශේෂ දීමනා ද සම්පූර්ණයෙන් ගෙවා අවසන් බව නිලධාරීහු පෙන්වා දුන්හ.
අධිඅවදානම් කලාපවල සිටින පවුල් කඩිනමින් ඉවත් කර වෙනත් ආරක්ෂිත ස්ථානවල පදිංචි කරවීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. විශේෂයෙන්ම දෙමාපියන් අහිමි වූ දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් සකස් කර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙස ද ඔහු නියම කළේය.
යටිතල පහසුකම් හා නගර සංවර්ධනය
දිස්ත්‍රික්කයේ විනාශ වූ මාර්ග 16න් බොහොමයක වැඩ අවසන් කර ඇති අතර, මොරගහකන්ද ස්ථිර පාලම ඉදිකිරීම, රිවස්ටන් මාර්ගය සහ ගලේවෙළ – මාතලේ මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කළේය. මීට අමතරව 2026 අයවැය මගින් ක්‍රියාත්මක වන මාතලේ නගර සංවර්ධන සැලැස්ම සහ දඹුල්ල රෝහල නව ස්ථානයක ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා ඇතුළු මහජන නියෝජිතයන් සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.