විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, බෙලරුස් ජනරජයේ විදේශ අමාත්‍ය මැක්සිම් රයිබෙනකොව්ගේ විශේෂ ඇරයුමකට අනුව අද (12) සිට 15 වනදා දක්වා බෙලරුස්හි සිව්දින නිල සංචාරයක නිරත වේ. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 25ක් සපිරීමෙන් අනතුරුව සිදුවන මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.

මින්ස්ක් නගරයේදී විජිත හේරත් බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එරට විදේශ අමාත්‍යවරයාට අමතරව, අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ ද විශේෂ සාකච්ඡා පවත්වන ඔහු, දෙරටේ උන්නතිය වෙනුවෙන් විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව අවබෝධතා ගිවිසුම් සහ එකඟතා කිහිපයකට ද අත්සන් තැබීමට අපේක්ෂා කරයි.

මෙම සංචාරය අතරතුර, බෙලරුස් ජාතික අපනයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සහ සංචාරක වටමේස සාකච්ඡාවකට ද අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතය. එමෙන්ම, බෙලරුස්හි විවිධ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා ඔවුන් සමඟ සුහද හමුවකට එක්වීමට ද විජිත හේරත් සැලසුම් කර තිබේ. මෙම සංචාරය හරහා දෙරට අතර ආර්ථික, අධ්‍යාපනික සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල නව සබඳතා ඇති කර ගැනීමට මඟ පෑදෙනු ඇත.