කොළඹ මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙකු එම කණ්ඩායමෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ. අද (12) පැවැති නගර සභාවේ මැයි මස මාසික රැස්වීමේදී මෙම මන්ත්‍රීවරුන් සිය තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළහ.
මෙසේ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වී ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම්වලින් තරග කර ජය ලැබූ මොහොමඩ් මන්සිල් සහ ඉන්දික සංජීව ලියනගේ මෙන්ම, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සුනන්ද ලියනපතිරණ යන මන්ත්‍රීවරුන්ය.
තම ඉල්ලා අස්වීම පිළිබඳව කරුණු පැහැදිලි කළ සුනන්ද ලියනපතිරණ මන්ත්‍රීවරයා අවධාරණය කළේ, තමා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙස රැඳී සිටින නමුත්, රීසා සරුක් විපක්ෂ නායකයා ලෙස කටයුතු කරන තාක් කල් ඒකාබද්ධ විපක්ෂයේ කටයුතුවලට සහාය නොදක්වන බවයි. කොළඹ නගර සභා විපක්ෂය තුළ පවතින අභ්‍යන්තර නායකත්ව අර්බුදය මෙම මන්ත්‍රීවරුන්ගේ ඉවත් වීමට සෘජුවම බලපා ඇති බව මේ අනුව පැහැදිලි වෙයි.