ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව බලගන්වමින් දිළිඳුකම මුලිනුපුටා දැමීම සඳහා රජය දියත් කර ඇති “ප්‍රජා ශක්ති” ජාතික ව්‍යාපාරය සඳහා 2026 අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 25,000ක මුදලින් මිලියන 23,000ක ව්‍යාපෘති මේ වන විටත් අනුමත කර අවසන්ව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ බව අනාවරණය විය.
ජීවනෝපාය සංවර්ධනය, නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණු කරගනිමින්, ග්‍රාමීය මට්ටමේ ප්‍රජා සංවර්ධන සභා මගින් හඳුනාගත් ප්‍රමුඛතා ව්‍යාපෘති වෙනුවෙන් මෙම දැවැන්ත ප්‍රතිපාදන වෙන් කර ඇත. අනුමත කරන ලද එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වන විටත් උපදෙස් සහ ප්‍රතිපාදන යොමු කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා අවධාරණය කළේ, මෙම ව්‍යාපෘති මගින් ජනතාවට ලැබෙන සැබෑ ප්‍රතිලාභ සහ ජන ජීවිතයේ ගුණාත්මක වෙනස පිළිබඳව රජය නිරන්තර පසු විපරමක පසුවිය යුතු බවයි. ව්‍යාපෘති ආරම්භ කිරීමට පමණක් සීමා නොවී, ඒවා සාර්ථකව අවසන් වන තෙක් විධිමත් අධීක්ෂණයක් පවත්වාගෙන යාමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය.
දැනට දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ප්‍රජා සංවර්ධන සභා 13,977ක් පිහිටුවා අවසන් කර ඇති අතර, එම සභාවලට අවශ්‍ය මූල්‍ය ශක්තිය ද රජය මගින් සපයා දී ඇත. මෙම සමස්ත ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත්, දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි නිලධාරීන් පුහුණු කිරීමටත් රජය පියවර ගෙන තිබේ.
මෙම සාකච්ඡාව සඳහා ග්‍රාමීය සංවර්ධන හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


