“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව පෙරදැරි කරගනිමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන 2026 වසර සඳහා වූ නිවාස 30,000 ක ව්‍යාපෘතිය යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව නිවාස 30 ක ඉදිකිරීම් කටයුතු අද ආරම්භ විය. මෙම අවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ, තෝරාගත් එක් ප්‍රතිලාභියෙකු වෙනුවෙන් නිවස ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය ප්‍රතිපාදන රජය මගින් ලබාදීමට නියමිතය.

මෙයට සමගාමීව පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි නිවාස 110 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් නිවාස 18 ක ඉදිකිරීම් කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. දිවයින පුරා විසිරී සිටින නිවාස නොමැති අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙම දැවැන්ත ව්‍යාපෘතියේ මූලික අරමුණයි.