මෙරට දේශපාලන ඉතිහාසයේ දූෂිත පවුල් පාලනය සහ අශිෂ්ට දේශපාලන සංස්කෘතිය අවසන් කිරීම සඳහා ජනතාව ලබාදුන් ඓතිහාසික ජනවරම කිසිසේත් පාවා නොදෙන බවත්, එම ජනවරම මල්ඵල ගැන්වීම සඳහා රජය කැපවී සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. වත්මන් දේශපාලන ගමන් මග සහ රජයට එල්ල වන විවිධ අභියෝග සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ආර්ථික කළමනාකරණය සහ ජනතා විශ්වාසය

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට ගලා යන බව පෙන්වා දෙන ටිල්වින් සිල්වා, විවිධ ආපදා තත්ත්වයන් සහ ජාත්‍යන්තර අර්බුද හමුවේ වුවද ජන ජීවිතයට දැඩි බලපෑමක් නොවන පරිදි ආර්ථිකය කළමනාකරණය කිරීමට රජය සමත් වී ඇති බව පවසයි. ඇතැම් ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යම් කාලයක් ගත වුවද, රජය කෙරෙහි පවතින ජනතා ප්‍රසාදය සහ විශ්වාසය තවදුරටත් නොවෙනස්ව පවතින බව ප්‍රධාන ලේකම්වරයාගේ අදහසයි.

රාජ්‍ය යාන්ත්‍රණය සහ පැරණි පුරුදු

රාජ්‍ය සේවය තුළ තවමත් මුල් බැසගෙන ඇති පැරණි දූෂිත පුරුදු සහ ඇතැම් නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය රජයේ කටයුතුවලට යම් බාධාවක් වී ඇති බව ටිල්වින් සිල්වා මෙහිදී විවෘතව පිළිගත්තේය. “ආණ්ඩුව අපේ වුණාට රාජ්‍ය යාන්ත්‍රණය තුළ තවමත් ඉන්නේ පැරණි ක්‍රමයට හුරුවුණු පිරිසක්. නමුත් රාජ්‍ය සේවය ජනතාවාදී සහ කාර්යක්ෂම මට්ටමකට ගෙන ඒම සඳහා වන සැලසුම් මේ වන විටත් ක්‍රියාත්මකයි,” යැයි ඔහු පෙන්වා දෙයි.

හොරුන් ඇල්ලීම සහ නීතියේ ආධිපත්‍යය

වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ජනතාවගේ ප්‍රබල ඉල්ලීමක් බවත්, එය දේශපාලන පළිගැනීම්වලින් තොරව නීත්‍යානුකූල මාවතක සිදු කරන බවත් ටිල්වින් සිල්වා අවධාරණය කළේය. පසුගිය පාලන සමයන්හි මෙන් සැකකරුවන් අභිරහස් ලෙස මියයාමට හෝ සාක්ෂි වසන් කිරීමට වත්මන් රජය යටතේ ඉඩ නොතබන බවත්, සැකකරුවන් මෙන්ම සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.

මඩ ප්‍රචාර සහ විපක්ෂයේ හැසිරීම

ටිල්වින් සිල්වා අසනීප වී ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා පැතිර ගිය ප්‍රචාර පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එම ප්‍රචාර විපක්ෂයේ දේශපාලන බංකොලොත්භාවය මනාව පිළිඹිබු කරන බවයි.

“විපක්ෂය දේශපාලනිකව පරාජය වී ඇති නිසා දැන් ඔවුන් උත්සාහ කරන්නේ මෙවැනි අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමටයි. ඔවුන්ට දැන් ජනතාව අතරට යාමට වැඩපිළිවෙළක් නැහැ,” යැයි ඔහු උපහාසාත්මකව සඳහන් කළේය.

ප්‍රාදේශීය පාලනය සහ ඉදිරි දැක්ම

ප්‍රාදේශීය සභා මට්ටමින් සේවාවන් ලබාදීමේදී පවතින යම් යම් අඩුපාඩු සම්බන්ධයෙන් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා, එම ආයතන බොහොමයක් පවතින්නේ පෙර පැවති පාලනයන් විසින් ඉතිරි කර ගිය විශාල ණය බරක් සහිතව බව පෙන්වා දුන්නේය. එම මූල්‍ය අර්බුද කළමනාකරණය කරමින් ජනතාවට අවශ්‍ය වීදි ලාම්පු නඩත්තුව සහ මාර්ග පිරිසිදු කිරීම වැනි සේවාවන් විධිමත් කිරීමට රජය මැදිහත් වන බව ඔහු පැවසීය.

එමෙන්ම, වත්මන් පාලනය යටතේ සියලුම ජනතා නියෝජිතයන් සඳහා පාලන තන්ත්‍රය සහ නීති රීති පිළිබඳව විධිමත් පුහුණුවක් ලබාදීමට කටයුතු කර ඇති බවත්, මින් ඉදිරියට ‘වන් මෑන් ෂෝ’ (One-man show) දේශපාලනය වෙනුවට සාමූහික වගකීමක් සහිත ශිෂ්ටසම්පන්න පාලනයක් ස්ථාපිත කරන බවත් ටිල්වින් සිල්වා අවධාරණය කළේය.

සටහන | LankaRedNews