රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් දියත් කර තිබූ වැඩවර්ජනයක් අතරතුර, ත්‍රිකුණාමලය මහ රෝහලේදී අහිංසක බිළිඳෙකු මියයාමේ අවාසනාවන්ත සිද්ධියට වගකිවයුතු වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ එම රෝහලේ GMOA ශාඛා සභාපති ලෙස කටයුතු කරන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල් වීරසේන සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී සියඹලාපිටිය යන දෙදෙනායි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් පසුගිය 08 වනදා මෙම තීරණය ගෙන ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ මූලික විමර්ශන වාර්තාව පදනම් කරගෙනයි. වර්ජනය මුවාවෙන් ජනතාව පීඩාවට පත් කරන බව පෙන්වන මෙම වෛද්‍යවරුන්ගේ සැබෑ නිරුවත මෙම විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
අප්‍රේල් 09 වන දින ත්‍රිකුණාමලය රෝහලේ සූතිකාගාරයේ සිටි මවකගේ දරු ප්‍රසූතියේදී බරපතළ සංකූලතා මතු වී ඇති බවත්, ඒ පිළිබඳව නේවාසික වෛද්‍යවරිය අවස්ථා 06ක් දැනුවත් කර තිබියදීත් ඇය සිය රාජකාරිය පැහැර හැර ඇති බවත් හෙළි වී ඇත. වඩාත් පිළිකුල් සහගත කරුණ වන්නේ, රජයේ රෝහලේ සේවය කළ යුතු විශේෂඥ වෛද්‍යවරයා එම අවස්ථාවේදී රෝහල් පද්ධතියේ වර්ජනයක් පවතින බව පවසමින් රෝගීන් මගහැර, ආසන්න පෞද්ගලික රෝහලක ‘චැනල්’ සේවයේ නිරත වෙමින් වෙනත් මවකගේ සිසේරියන් සැත්කමක් සිදු කර තිබීමයි.
තම පෞද්ගලික ලාභය වෙනුවෙන් රජයේ රෝහලක බිළිඳෙකු මරුට යැවීමට ඉඩ හැර ඇති මෙම වෛද්‍යවරුන්, තමන් රජයේ රෝහලේ රාජකාරි කළ බව පෙන්වීමට දිනපොතේ අසත්‍ය සටහන් යොදා වංචා කිරීමට ද උත්සාහ කර තිබේ. රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කරනවා වෙනුවට වර්ජන ඉස්සරහට දමාගෙන මහා පරිමාණයෙන් මුදල් සෙවීමේ නිරත GMOA නායකයින්ගේ අශික්ෂිත පිළිවෙත මෙම සිද්ධියෙන් මනාව තහවුරු වේ.
(Source – LankaTruth)