තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මේ වන විට උත්කර්ෂවත් අයුරින් ආරම්භ වී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විශේෂ ආරාධනයකට අනුව සිදුවන මෙම සංචාරයේදී, දෙරටේ නායකයින් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ද නියමිතව ඇත.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමයි. ඒ සම්බන්ධයෙන් ආචාර්ය මොහොමඩ් මුයිසු සහ අනුර කුමාර දිසානායක අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂිතය. විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමේ පොදු කැපවීම තහවුරු කරමින්, මෙම සංචාරය අතරතුර දෙරට අතර වැදගත් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබෙනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.
ලබන 06 වනදා දක්වා මෙරට රැඳී සිටින මාලදිවයින් ජනාධිපතිවරයා, 2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සිදුකරන ප්‍රථම නිල සංචාරය මෙය වීම ද විශේෂත්වයකි. මෙම සංචාරය කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීමට මෙන්ම දෙරට අතර ආර්ථික හා සමාජීය සබඳතා වර්ධනය කිරීමට ද ප්‍රබල පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.