නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවැති රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව, දෙරට අතර සහයෝගීතාව තහවුරු කෙරෙන වැදගත් අවබෝධතා ගිවිසුම් හතකට (07) අත්සන් තැබිණි.
දෙරටේ නායකයින් අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් පසු මෙම එකඟතාවන්ට එළඹුණු අතර, ඒ අනුව ප්‍රධාන ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය උදෙසා ඉදිරියේදී ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනු ඇත. මෙලෙස අත්සන් තැබුණු ගිවිසුම් අතරට සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර මෙන්ම ක්‍රීඩා හා තරුණ සංවර්ධන අංශ ද ඇතුළත් වේ.
මීට අමතරව, ඓතිහාසික හා දත්තමය වටිනාකමකින් යුත් ලේඛනාගාර කටයුතු සහ දෙරටේ කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ආරක්ෂක අංශවල සහයෝගීතාව පුළුල් කිරීමට ද මෙම ගිවිසුම් මගින් අවස්ථාව සැලසේ. මෙම නව රාජ්‍ය තාන්ත්‍රික පියවර හරහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.