මෙරට මාර්ග පද්ධතිය තුළ මගී ආරක්ෂාව තහවුරු කිරීම සහ රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ඉදිරියේදී ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැඩි තීන්දු තීරණ කිහිපයක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ඒ අනුව, මින් ඉදිරියට මගී ආරක්ෂාවට මුල්තැන දෙන බස් රථ පමණක් මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දෙන බවත්, මෙතෙක් භාවිත වූ ලොරි චැසි මත ඉදි කළ බස් රථ (Lorry-body buses) ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.

පොලිස් දත්තවලට අනුව රටේ සිදුවන රිය අනතුරුවලින් 53%ක්ම රියදුරන්ගේ විනය, පුහුණුව සහ හැසිරීම් මත සිදුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, කෙතරම් හොඳ මාර්ග සහ වාහන තිබුණ ද රියදුරන්ගේ විනය සකස් නොකර මගී ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව ප්‍රකාශ කළේය.

මෙරට මාර්ගවල වාර්ෂිකව සිදුවන රිය අනතුරුවලින් 1000කට වැඩි ප්‍රමාණයක් යතුරුපැදිකරුවන් වන බැවින්, යතුරුපැදි සහ ආරක්ෂිත හිස්වැසුම් (Helmets) නිෂ්පාදකයින් සඳහා ද ඉදිරියේදී දැඩි නියාමනයන් හඳුන්වා දීමට නියමිතය. එසේම, ත්‍රිරෝද රථ රියදුරන් සිදු කරන අනතුරුදායක හැසිරීම් පාලනය කිරීම සඳහා එම රථවල හැඬලය හැරවිය හැකි සීමාව (Steering lock) පාලනය කිරීමට නිෂ්පාදකයින්ට උපදෙස් දීමට ද පියවර ගැනේ.

මේ අතර, මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය වැනි රටවල භාවිත කෙරෙන නවීන ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ පද්ධතියක් (Mobile drug testing) මේ වන විටත් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.

මහජන ප්‍රවාහනය දියුණු කිරීම සහ රියදුරු විනය ඇති කිරීම හරහා 2029 වසර වන විට මෙරට වාර්ෂිකව සිදුවන මාරක රිය අනතුරු සංඛ්‍යාව අවම කර ගැනීම රජයේ මූලික අරමුණ බව අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය.