රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” (Kush) සහ “හෑෂ්” (Hash) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමඟ තායිලන්තයේ සිට පැමිණි භික්ෂූන් වහන්සේලා 22 නමක් කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙය කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස සටහන් වේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර උසස් අධ්‍යාපනය ලබන තරුණ භික්ෂූන් වහන්සේලා 21 නමක් සහ එක් පිරිවෙන් ආචාර්යවරයෙක් ද වෙති. මොවුන්ගේ ගමන් මලුවල ව්‍යාජ පතුල් සකසා මෙම මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂම ලෙස සඟවා තිබී ඇත. මෙම ජාවාරම මෙහෙයවූ ප්‍රධාන භික්ෂූන් වහන්සේ ද අද දින පොලිස් අත්අඩංගුවට පත්විය. සැකකරුවන් අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කළේ, නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු තරාතිරමක් නොබලන බවයි. “නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි. දුබලයාට එක නීතියකුත් ප්‍රබලයාට තව නීතියකුත් ක්‍රියාත්මක වෙන්න ඉඩක් නෑ. ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ඇතිව, නීත්‍යානුකූලව ගතයුතු සියලු පියවර අපි අකුරටම ගන්නවා,” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

බුද්ධ චීවරය අවභාවිත කරමින් සිදුකළ මෙම ක්‍රියාව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් දැඩිව හෙළා දකිනු ලැබූ අතර, අදාළ පිරිස වහාම ශාසනයෙන් නෙරපීමට කටයුතු කරන බව උන්වහන්සේලා නිවේදනය කර තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු කරයි.