‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ (Rebuilding Sri Lanka) අරමුදලට ලැබුණු සියලුම මුදල් මහා භාණ්ඩාගාරය තුළ සම්පූර්ණයෙන්ම සුරක්ෂිතව පවතින බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත අවධාරණය කරයි.

අදාළ අරමුදලේ විනිවිදභාවය සම්බන්ධයෙන් සමාජය තුළ සහ ඇතැම් පාර්ශ්ව විසින් මතුකර ඇති අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාර ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා මෙම විශේෂ පැහැදිලි කිරීම සිදු කළේය.

ඔහු පෙන්වා දුන් පරිදි, අප්‍රේල් 24 වැනිදා වන විට ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා රුපියල් මිලියන 9,583ක (රුපියල් බිලියන 9.5කට ආසන්න) මුදලක් ලැබී තිබේ. ලොව පුරා රටවල් 49ක වෙසෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශ ජාතිකයින් ද සිය පරිත්‍යාගයන් මෙම අරමුදලට යොමු කර ඇත.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ යළි ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් රජය විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලදී. ඒ අනුව, අදාළ සහන කටයුතු සඳහා මෙම අරමුදලට ලැබී ඇති රුපියල් බිලියන 10කට ආසන්න මුදල ද යොදාගන්නා බවත්, ඒ හරහා රජයට අතිරේකව සපයා ගැනීමට සිදුවන්නේ ඉතිරි රුපියල් බිලියන 490ක මුදල පමණක් බවත් ආචාර්ය අනිල් ජයන්ත පැහැදිලි කළේය.

මෙම අරමුදල් පරිහරණය කිරීමේදී, දැනට පවතින මූල්‍ය නීති සහ අණපනත්වලට අනුකූලව පූර්ණ විනිවිදභාවයකින් යුතුව එය සිදුකරන බව ද නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික විය.