නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ තීරණාත්මක යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්වේච්ඡා උපදේශක සභාව සමඟ ඔක්තොම්බර් 09 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සකස් කළ ප්‍රතිසංස්කරණ පිළිබඳ සංකල්ප පත්‍රිකාව, ජාතික අධ්‍යාපන ආයතනය (NIE) ඉදිරිපත් කළ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව (National Curriculum Framework), 1 සිට 11 ශ්‍රේණි දක්වා වන ශිෂ්‍ය ඇගයීම් රාමුව සහ ජාතික අධ්‍යාපන සභාව (Education Council) පිහිටුවීමේ වාර්තාව සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. උසස් පෙළ සඳහා වන ඇගයීම් රාමුව මේ දිනවල සකස් වෙමින් පවතින බවත්, ජාතික අධ්‍යාපන සභාව ස්ථාපිත කිරීමේ කෙටුම්පත් සම්පාදනය සඳහා ඉදිරියේදී කමිටුවක් පත් කරන බවත් ඇය සඳහන් කළාය.
තවද, පාසල් අධ්‍යාපනය තුළ ඩිජිටල් සංවර්ධනය වෙනුවෙන් වසර 5ක් සඳහා රුපියල් බිලියන 96ක ව්‍යාපෘති යෝජනාවකට ප්‍රතිපත්තිමය අනුමැතිය ලැබී ඇති අතර, අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමෙන් පසු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. උසස් පෙළ අවසන් කරන සිසුන්ට විශ්වවිද්‍යාල, විද්‍යාපීඨ (NCOE) සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා එකම ජාලයකින් අයදුම් කළ හැකි ‘ඒකාබද්ධ ඇතුළත් කිරීමේ ප්‍රතිපත්තියක්’ සකස් කරන ලෙස අදාළ ආයතනවලට උපදෙස් දී ඇති බවත්, එය 2028 වසරේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, ඉංජිනේරු, වෛද්‍ය සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයන් සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමට කමිටු පත් කර ඇති බවත්, රාජ්‍ය නොවන උපාධි පිරිනමන ආයතන නියාමනය කිරීමේ නව ප්‍රතිපත්තියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවත් සඳහන් කළේය.
මීට අමතරව සිසුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව වෙනුවෙන් වයස් කාණ්ඩ 5ක් යටතේ (1-2, 3-5, 6-7, 8-10 සහ 11-13 ශ්‍රේණි) මාර්ගෝපදේශ සකස් කර ඇති අතර, එහි නියමු ව්‍යාපෘතිය ලබන නොවැම්බර් මාසයේදීත්, පූර්ණ ක්‍රියාත්මක කිරීම ලබන වසරේ මුලදීත් සිදු කෙරේ. වෘත්තීය අධ්‍යාපනය නවීකරණය, AI තාක්ෂණය භාවිතය, ගුරු පුරප්පාඩු පිරවීම, ගුරු ස්ථානමාරු විධිමත් කිරීම මෙන්ම පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව, පෝෂණය හා ක්‍රීඩා සංවර්ධනය පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.