1983 කළු ජූලි ඛේදවාචකය සිදුවීමට බලපෑ කරුණු සහ එහි සමස්ත බලපෑම පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 51 දෙනෙකුගේ අත්සනින් යුත් යෝජනාවක් ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

1983 වසරේදී සිදු වූ කළු ජූලිය හේතුවෙන් දශක කිහිපයක් තිස්සේ රටක් ලෙස ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් දැවැන්ත පසුබෑමක් සිදුවූ බවත්, වටිනා ජීවිත දහස් ගණනක් අහිමි වී බරපතළ දේපළ හානියක් සිදු වූ බවත් අදාළ යෝජනාවේ පෙන්වා දී ඇත. භෞතික හානියට වඩා ජන කොටස් අතර නොසන්සුන්තාව, බිය සහ සැකය වර්ධනය වීම රටට සිදු වූ බරපතළම විනාශය බව එහි සඳහන් වේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයක් වන කළු ජූලි සිදුවීමෙන් සිදු වූ ජීවිත, දේපළ මෙන්ම මානසික හා සමාජීය හානිය මෙතෙක් නිසි ලෙස තක්සේරු කර නොමැති බව පෙන්වා දෙන එම යෝජනාව, මෙවැනි අර්බුදකාරී සිදුවීම් අනාගතයේදී නැවත ඇතිවීම වැළැක්වීමට ශක්තිමත් නීතිමය, සමාජීය හා සංහිඳියා යාන්ත්‍රණයක් සැකසීම, ජාතීන් අතර සුහදතාව බිඳවැටීම වැළැක්වීම, සිදුවීමට හේතු වූ කරුණු සහ එම විනාශකාරී ක්‍රියාවන් මෙහෙයවූ පුද්ගලයන් අනාවරණය කරගැනීම මෙන්ම පීඩාවට පත් ජනතාවට සාධාරණ සහනයක් ලබා දී ගෞරවනීය ලෙස සුවපත් කිරීම රජයේ වගකීමක් බව ද අවධාරණය කරයි.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධිවිධාන ප්‍රකාරව කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් 12 දෙනෙකුට නොවැඩි වන පරිදි කථානායකවරයා විසින් සභාපතිවරයා සහ සාමාජිකයන් නම් කර මෙම විශේෂ කාරක සභාව පත් කළ යුතු බව යෝජනා කර ඇත.

ඕනෑම පුද්ගලයෙකු, ලේඛනයක් හෝ වාර්තාවක් කැඳවීමට, සියලු ලිඛිත හෝ වාචික සාක්ෂි ලබාගැනීමට සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහාය ලබාගැනීමට මෙම කාරක සභාවට පූර්ණ බලතල හිමිවිය යුතුය. පාර්ලිමේන්තුව කල් තබා හෝ වාරාවසාන කර තිබුණ ද රැස්වීම් පවත්වාගෙන යාමට සහ කලින් කලට අන්තරවාර වාර්තා ඉදිරිපත් කිරීමට බලය හිමිවන මෙම කාරක සභාව, සිය පළමු රැස්වීමේ දින සිට මාස හයක (06) කාලයක් ඇතුළත හෝ පාර්ලිමේන්තුව මඟින් දීර්ඝ කරනු ලබන කාලසීමාවක් තුළ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව අදාළ යෝජනාවේ වැඩිදුරටත් සඳහන් වේ.