රටේ නීති පවතිද්දී තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ත්‍රෛනිකායික මහා සංඝරත්නය හමුවේ අද (8) ප්‍රකාශ කළේය.
නීතිය වර්තමානයට උචිත නොවේ නම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කර ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, භික්ෂූන් වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව සඳහන් කළේය.
නීතිපති, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන පරිදි එම කමිටුව පත් කරන බවත්, සති දෙකක් ඇතුළත මේ පිළිබඳ අධ්‍යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීමට කමිටුවට පවරන බවත් හෙතෙම පැවසීය. එහිදී භික්ෂූන් වහන්සේලාට බලපාන කොටස් මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කර අනුරූප ලෙස වෙනස් කිරීමට පියවර ගන්නා බවද ඔහු කීය.
බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති ලිපිය සහ මෙම සිදුවීම පාදක කරගනිමින් සමාජයේ ඇති වී තිබෙන තත්ත්වයත්, මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් ත්‍රෛනිකායික හිමිවරුන් සමඟ මෙම සාකච්ඡාව පැවැත්විණි.