දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වූ සහ අධි අවදානම් තත්ත්වයන්ට මුහුණ දුන් පවුල් සඳහා නව නිවාස ඉදිකර ගැනීමට එක් පවුලකට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමේ වැඩසටහන යටතේ නව නිවාස ව්‍යාපෘතියකට මුල්ගල් තැබීම ඊයේ (7) සිදු කෙරිණි. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ විය.

ඒ අනුව, ආපදාව හේතුවෙන් පූර්ණ වශයෙන් නිවාස හානි වූ පවුල් 41ක් වෙනුවෙන් නව නිවාස 41ක් ඉදිකිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, මහතැන්න, මැදලේයාය ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමකදී මෙලෙස මුල්ගල් තබා තිබේ.

අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මෙලෙස ආරම්භ කර ඇති අතර, එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදෙමින් ආපදාවෙන් අවතැන් වූ පවුල් සඳහා ආරක්ෂිත හා ස්ථිර නිවාස ලබාදීම මෙහි අරමුණයි. මීට සමගාමීව, දිට්වා ආපදාවෙන් අර්ධ වශයෙන් නිවාස හානි වූ පවුල් 45ක් සඳහා දෙවන අදියර යටතේ රුපියල් ලක්ෂ 02 බැගින් වූ වන්දි චෙක්පත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.

ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ සහ අධි අවදානම් තත්ත්වයන්ට මුහුණ දුන් පවුල් සඳහා කඩිනමින් ආරක්ෂිත නිවාස ලබාදීම රජයේ ප්‍රමුඛ අවධානයක් වන බවත්, එම පවුල් යළි ආරක්ෂිත සහ ස්ථාවර ජීවන තත්ත්වයකට පත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙන්ම ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය එක්ව කඩිනමින් කටයුතු කරන බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හර්ෂ රත්නායක ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම, කන්දකැටිය ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.