මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතිකරණය, වෘත්තීය සංවර්ධනය සහ ගුරු වෘත්තියේ අභිමානය තහවුරු කිරීමේ අරමුණින් “අධ්‍යාපන සභාව” පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු වසරක කාලයක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය අද (07) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරන ලද විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශ පදනම් කරගනිමින් මෙම අධ්‍යාපන සභාව පිහිටුවීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2026 අගෝස්තු 25 වන දින කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පවතින නීතිරීතිවලට අනුකූලව කෙටුම්පත සැකසීම සඳහා අදාළ වාර්තාව නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.

යෝජිත අධ්‍යාපන සභාව පිහිටුවීම මඟින් පෙර පාසල්, ප්‍රාථමික සහ ද්විතීයික මට්ටම්වල අධ්‍යාපන වෘත්තිකයන්ගේ වෘත්තීය සංවර්ධනය, ප්‍රමිතිකරණය, ලියාපදිංචිය මෙන්ම නියාමනය හා අධීක්ෂණය සිදු කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම වෘත්තීය සංවර්ධනය සහ තත්ත්ව සහතිකය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම, ද්විභාෂා අධ්‍යාපන අවස්ථා පුළුල් කරමින් ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යාපන වෘත්තිකයන් බිහි කිරීම, බඳවා ගැනීම් හා උසස්වීම්වල සුදුසුකම් ප්‍රමිතිකරණය සහ අධ්‍යාපන වෘත්තිකයන්ගේ ගැටලුවලදී රජය සමඟ මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියාකිරීම ද මෙහි ප්‍රධාන අරමුණු අතර වේ.

මෙම ප්‍රතිසංස්කරණ යටතේ නිපුණතා ප්‍රමිතීන් සහ තක්සේරු කිරීම් මත පදනම්ව සුදුසුකම් සපුරාලන ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතය. එමඟින් අනෙකුත් වරලත් වෘත්තිකයන්ට මෙන්ම ගුරු වෘත්තියට ද ඉහළ වෘත්තීය අභිමානයක් හිමිවන අතර, ගුරුවරුන්ගේ සේවය කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පාසල් සහ පන්ති කාමර මට්ටමේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ද පියවර ගැනේ.

කෙසේ වෙතත්, මෙම අධ්‍යාපන සභාව මඟින් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන නියාමනය කිරීමක් හෝ ඒවායේ පාඨමාලාවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමක් සිදු නොවන බවත්, මෙය සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පමණක් සීමා වූවක් බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.