ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 30ක් සපිරීම නිමිත්තෙන් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ලිතුවේනියාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විඩ්මන්තස් වර්බිකාස් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය.

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කළ ආරාධනයකට අනුව ඔක්තෝබර් 4 සිට 6 දක්වා මෙම සංචාරය සිදු වූ අතර, රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසු ලිතුවේනියාවේ ඉහළ පෙළේ රාජ්‍ය දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සංචාරයේ ප්‍රධාන අංගයක් ලෙස දෙරට අතර ප්‍රථම දේශපාලන උපදේශන සාකච්ඡාව පවත්වා තිබේ. එහිදී දේශපාලන සබඳතා, කලාපීය හා ජාත්‍යන්තර වර්ධනයන්, වෙළෙඳ, ආයෝජන, සංචාරක කර්මාන්තය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික වේදිකාවල සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කර ඇත. නිරන්තර සංවාදයක් සහ සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම සඳහා දෙරට අතර දේශපාලන උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.

ඩිජිටල් සහයෝගීතාව කෙරෙහි ද සංචාරයේදී විශේෂ අවධානයක් හිමි වූ අතර, ඩිජිටල්කරණය, GovTech, ඩිජිටල් රාජ්‍ය සේවා සහ කෘත්‍රිම බුද්ධිය යන ක්ෂේත්‍ර පිළිබඳව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න සමඟ අදහස් හුවමාරු කරගෙන තිබේ. ඊට අමතරව GovTech ආයතනය සහ SLASSCOM සමඟ පැවති හමුවලදී ඩිජිටල් යටිතල පහසුකම්, මූල්‍ය තාක්ෂණය, නවෝත්පාදන සහ තාක්ෂණික ව්‍යාපාර පිළිබඳව කරුණු විමසා බලා ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති වැඩසටහනකදී ලිතුවේනියාවේ විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය විඩ්මන්තස් වර්බිකාස් දේශනයක් පැවැත්වීය. අධ්‍යයන හුවමාරු, ඒකාබද්ධ පර්යේෂණ, පශ්චාත් උපාධි අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව සඳහා දෙරට අතර සබඳතා පුළුල් කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණි.

යුරෝපා සංගම් නියෝජිතයන් හමුවීම, ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වෙත සංචාරය කිරීම සහ මෙරට පදිංචි ලිතුවේනියානු ප්‍රජාව සමඟ අදහස් හුවමාරු කර ගැනීම ද මෙම සංචාරයට ඇතුළත් විය. එසේම දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 30 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් සංස්කෘතික සබඳතා විදහා දක්වමින් විශේෂ සංගීත ප්‍රසංගයක් ද පවත්වා තිබේ.

යුරෝපා සංගමයේ සාමාජික රටක් වන ලිතුවේනියාව සමඟ මෙම සබඳතා ශක්තිමත් වීම තුළින් ශ්‍රී ලංකාවට නව ආයෝජන, වෙළෙඳ, තාක්ෂණික, අධ්‍යාපනික සහ වෘත්තීය අවස්ථා රැසක් සඳහා ප්‍රවේශය සැලසෙනු ඇත.