ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 09 දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී තිබේ.
‘දිට්වා’ සුළි කුණාටුව ඇතුළුව ශ්‍රී ලංකාව මුහුණ දුන් විවිධ ජාතික අභියෝගවලදී ඉන්දීය රජය ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිය කෘතඥතාව පළ කළාය. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවට මානුෂීය හා ආපදා සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ලෙස ඉන්දීය රජය විසින් “ඔපරේෂන් සාගර් බන්ධු” (Operation Sagar Bandhu) මෙහෙයුම දියත් කිරීමද ඇයගේ විශේෂ ඇගයීමට ලක්විය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික සබඳතාවලින් ඔබ්බට යන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, සංස්කෘතික, ඓතිහාසික හා ආගමික සබඳතා දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයේ සුවිශේෂී කොටසක් බව අවධාරණය කළාය. ඉන්දියාව ශ්‍රී ලංකාවේ වැදගත් හවුල්කරුවෙකු ලෙස වෙළඳ, සංවර්ධන, ආරක්ෂක සහ අධ්‍යාපන ඇතුළු පුළුල් පරාසයක ක්ෂේත්‍රයන්හි කටයුතු කරන බව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය. ආරක්ෂක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දෙරට අතර පවතින දිගුකාලීන සහයෝගීතාව පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍යවරිය, එම සහයෝගීතාව ඉදිරියටත් පවත්වාගෙන යාමේ සහ තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අතර, අමාත්‍යවරයාගේ මෙම සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් (MoUs) කිහිපයකට එළඹීම පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.
කලාපීය සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින් සංචාරක හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සබඳතා වර්ධනය කිරීමේ අවශ්‍යතාවද ඇය අවධාරණය කළාය. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ විශ්වවිද්‍යාල අතර සහයෝගීතාව ගොඩනැගීම මෙන්ම, ඉන්දීය තාක්ෂණ ආයතන (IITs) වැනි උසස් අධ්‍යාපන ආයතන හා වැඩසටහන් හරහා දැනුම හුවමාරු කරගැනීම, නවෝත්පාදනය සහ කුසලතා සංවර්ධනය තවදුරටත් ශක්තිමත් කළ හැකි බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් ආචාර්ය අමිත් ටෙලන්ග්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් ප්‍රසන්න ශ්‍රීවාස්තව, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගාරිකා බෝගහවත්ත මහත්ම මහත්මීන් ඇතුළු විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශවල නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.