රාජපක්ෂ දෙවන පාලන සමයට අයත් 2009 සිට 2016 දක්වා වූ වසර හතක කාලය තුළ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ලංකා ගල් අඟුරු සමාගම මඟින් ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ බරපතළ අක්‍රමිකතා සහ දුර්වලතා හේතුවෙන් රුපියල් කෝටි 414කට අධික දැවැන්ත පාඩුවක් සිදුව ඇතැයි විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
පාර්ලිමේන්තු බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ඉල්ලීම පරිදි සකස් කරන ලද මෙම විශේෂ විගණන වාර්තාව පෙන්වා දෙන්නේ, අදාළ කෝටි 414ක පාඩුවට සෘජු මූල්‍ය අලාබ, ආදායම් අහිමිවීම් සහ අතිරේක වියදම් ඇතුළත් වන බවයි. මෙම මූල්‍ය විනාශයට වගකිව යුතු නිලධාරීන් කවුරුන්දැයි කඩිනමින් හඳුනාගත යුතු බවත්, ඉදිරියේදී මෙවැනි අලාබ සහ ආදායම් අහිමිවීම් සිදු නොවන පරිදි සමස්ත ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියම විධිමත් කළ යුතු බවත් විගණකාධිපතිවරයා නිගමනය කර ඇත.
ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අවම පිරිවැයකින් උපරිම ආර්ථික වාසියක් ලබාගැනීම, ගුණාත්මකභාවය සහ කාලෝචිතභාවය තහවුරු කිරීම, නියමිත ප්‍රමිතීන්, නීති හා රෙගුලාසි අනුගමනය කිරීම, සුදුසුකම් ලත් ලංසුකරුවන්ට සාධාරණ හා සමාන අවස්ථා ලබාදීම මෙන්ම විනිවිදභාවය සුරැකීම යන මූලික ප්‍රසම්පාදන අරමුණු කිසිවක් මෙම ගල් අඟුරු මිලදී ගැනීමේදී සපුරා නොමැති බව විගණන වාර්තාවේ දැක්වේ.
තවද, ගල් අඟුරු ප්‍රමාණවත් ලෙස සපයා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් බලාගාරය අඩු ධාරිතාවකින් ධාවනය කිරීමට සිදුවීමෙන් විශාල අමතර වියදමක් දැරීමට සිදුව තිබේ. එලෙස බලාගාරය අඩු ධාරිතාවකින් ක්‍රියාත්මක වීම නිසා වැයවූ අතිරේක වියදම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් රුපියල් කෝටි 1,250ක් ලෙස ගණනය කර තිබූ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ ගණනය කිරීම්වලට අනුව එය රුපියල් කෝටි 98ක් බව වාර්තාව සඳහන් කරයි.
මීට අමතරව, ගිවිසුම්ගත ප්‍රමාණයෙන් හා ගුණාත්මක ප්‍රමිතියෙන් තොරව ගල් අඟුරු සැපයීම වෙනුවෙන් අදාළ සැපයුම්කරුවන්ගෙන් අය කරගත යුතුව තිබූ විශාල දඩ මුදල් අය කරගැනීමට නොහැකි වීමෙන්ද රටට දැවැන්ත පාඩුවක් සිදුව ඇත. නිසි අධ්‍යයනයකින් හෝ අනුමැතියකින් තොරව, ගල්අඟුරු කැටවල ප්‍රමාණය මත පදනම්ව ගුණාත්මකභාවය අනුව මිල සකස් කිරීමේ කොන්දේසිය ඉවත් කිරීම හේතුවෙන් ලිබර්ටි කොමෝඩිටීස් සමාගමෙන් අය කරගත යුතුව තිබූ ඇමෙරිකානු ඩොලර් 758,358ක් (රුපියල් 98,586,540ක්), ඇමෙරිකානු ඩොලර් 562,763ක් (රුපියල් 73,159,190ක්) සහ ඇමෙරිකානු ඩොලර් 409,537ක් (රුපියල් 53,239,810ක්) වශයෙන් වූ දඩ මුදල් සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති බව විශේෂ විගණන වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි.