පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම වසර අවසන් වන විට වායුසමීකරණය කළ නව බස් රථ 600ක් ආනයනය කිරීමටත්, ලංගම අරමුදල් යොදා තවත් බස් රථ 200ක් මිලදී ගැනීමටත් කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.
එමෙන්ම මේ මාසයේදී මෙට්‍රෝ බස් සේවාවේ බස් රථ සංඛ්‍යාව 122ක් දක්වා වැඩි කරන බව ද තවත් බස් රථ 50ක් මිලදී ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව මෙම වසර අවසන් වන විට හෝ ලබන වසරේ මුල් භාගයේදී මෙට්‍රෝ බස් සේවාව බස් රථ 172ක් දක්වා පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම කීවේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කඩවත මෙට්‍රෝ ඩිපෝ අංගණයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙට්‍රෝ බස් සේවාව බස්නාහිර පළාතෙන් ඔබ්බට ව්‍යාප්ත කරමින් ගාල්ල, මහනුවර සහ යාපනය ප්‍රදේශවලට හඳුන්වාදීමට පියවර ගන්නා බව ද හෙතෙම කීවේය. මෙට්‍රෝ ආයතනය සමඟ ගිවිසුම්ගතව බස් සේවාව ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී පෞද්ගලික අංශයට ද අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙට්‍රෝ බස් සේවාවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පෞද්ගලික සමාගම ඒකාබද්ධව කෙරේ.
මෙට්‍රෝ ව්‍යාපෘතිය යටතේ ඉදි කළ පළමු ඩිපෝ අංගණය බත්තරමුල්ල, තලංගම ප්‍රදේශයේදී ජනතා අයිතියට පත් කෙරුණු අතර මෙට්‍රෝ බස් සේවාවේ පරිපාලන, මෙහෙයුම් සහ නඩත්තු කටයුතු ශක්තිමත් කිරීමේ පළමු අදියර යටතේ තලංගම, කඩවත, ඒකල සහ රත්මලාන යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් නව ඩිපෝ 4ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. දැනට මෙට්‍රෝ බස් සේවාවේ මාර්ග අංක එක යටතේ මාකුඹුර සිට මහරගම හරහා කඩවත දක්වා සේවා ක්‍රියාත්මක වන අතර, එම මාර්ගයට නව මෙට්‍රෝ බස් රථ 15ක් යෙදවීමට ද කටයුතු කර ඇත. බස් නැවතුම්, ඒකාබද්ධ ගෙවීම් පද්ධති, ඩිපෝ පහසුකම් සහ රථගාල් ඇතුළු අනෙකුත් ප්‍රවාහන සේවා සමඟ සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට ද සැලසුම් කර තිබේ.