ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය ඊයේ (07) ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය. දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සැසිවාරය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමක් ද එක්ව සිටියි.
පසුගිය වසරේ කොළඹදී පැවති 78 වන කලාපීය කමිටු සැසිවාරයේ සභාපති ලෙස කටයුතු කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී සමාරම්භක උත්සවය අමතමින්, කලාපීය සෞඛ්‍ය පද්ධතීන් ශක්තිමත් කිරීම සඳහා ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්ති සහ සාමූහික ක්‍රියාමාර්ගවල ඇති වැදගත්කම අවධාරණය කළේය. වයස්ගත වන ජනගහනයට සරිලන සෞඛ්‍ය සේවා, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන සෞඛ්‍ය පහසුකම් නිර්මාණය කිරීම, ඩෙංගු පාලනය සහ ඩිජිටල් පරිසරය තුළ ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වැනි කලාපීය අභියෝග රැසක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දැක්වීය.
ටිමෝර්-ලෙස්ටේ රජය වෙත සිය කෘතඥතාව පළ කළ අමාත්‍යවරයා, මෙම සැසිය හරහා කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වන බවත්, ජනතාවට මූල්‍යමය දුෂ්කරතාවකින් තොරව අවශ්‍ය ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට හැකි පසුබිමක් සැකසීම සියලු රටවල පොදු අපේක්ෂාව විය යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළේය.